Archive

Archive for the ‘අත්දැකීම් | Experience’ Category

= අපට අප අහිමි වී නැත =

මැයි 20, 2012 1 comment

*

රෝස පැහැති හැඩුම්බර  සැදෑ අහස

දෙසට දෑස දිගුකොට

නිමේශයකට දෙනෙත පියාගතිමි.

ඔබ පැවසුවා නිවැරදිය.

*.

මිල,මුදල් කිසිවකට සතුට මිලදී ගත නොහැක.

ඔබ මා හමුවූ නිමේෂයන් මේ ජීවිත කාලයට වඩා දිගින් වැඩිය.

*

සොහොන්බිම නිහඩතාවය,

පෙර වූ වසන්තයක මතකවලට යලි පණ දෙයි.

ඔබ කී වචන,

ගීතයක් ලෙසින්

දෙසවන පිලිරැවූ දෙයි.

*

මා ඔබ වෙනුවෙන් වැලපෙන්නේ නැත.

මක් නිසාද යත්,

ඔබ නික්ම ගියද,

තවමත්

අපට අප අහිමි වී නැත.

**

*

වෘත්තීයමය කුහකත්වය හෙවත් “එකට කා බී පිහියෙන් ඇනීම”

අප්‍රේල් 29, 2012 15 comments


*

මීට වසර ගණනකට පෙර රූපවාහිනියේ විකාශය වූ “එකට ගැටුම” ටෙලි නාට්‍යය කීයෙන් කීදෙනෙක්ට මතකද?

කී දෙනෙක් බලලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ.

“එකට ගැටුම” රන්ජන් ද සිල්වා රචනා කල ජාතික රුපවාහිනිය නිෂ්පාදනය කල ටෙලි නාට්‍යයක්.

බලලා නැත්නං, මෙතනින් බලන්න.

*

ඒ කාලේ ඒක බලපු අය කිව්වේ,

“අම්මටසිරි!

මේ නං යන්නේ අපේ ඔෆිස් එකේ කතාව නේ !”

කියලා.

*

පිටරටක වැඩකරන යාලුවෙක් ලඟදි හම්බුනා.

මම ඇහුවා “කොහොමද මචන් ජොබ් එක? වැඩ අමාරුද? ” කියලා.

*

පොර කියනවා,

“වැඩ නං කොහොමත් අමාරුයි බං! වැඩ නං මැරීගෙන හරි කරන්න බැරියැ,

ලංකාවේ එවුන් හතර පස් දෙනකුත් වැඩ කරන මාත් එක්ක.

දන්නවනේ ඉතින්!

උඹට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…!

අපායෙත් ලංකාවේ එවුන්ව දාල ඉන්න වලේ දොර හැමවෙලාවෙම ඇරලා ලු තියෙන්නේ…! ”

*

මම ඇහුවා,

“නැහැ සිරාවටම? මොකෝ ඒ…?” කියලා.

*

“එහෙම තමයි බං! කාටවත් ඉහලට නැගලා පැනල යනවා තියා,

ඔලුව උස්සලා ඉනිමගේ පඩියක් ඉහලට නගින්න වත් ඉඩක් නැහැ.

අපේම එවුන් අපේ කකුලෙන් ඇදලා බිමට දානවා. කාටවත් ඉහලට යන්න වෙන්නේ නැහැ.”

*

ඒ කතාව කොච්චරට ඇත්තද කියලල මම ගොඩක් දෙනෙක්ට අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ.

*

සමහරුන්ට, වැඩක් සාර්ථකව නිම කිරීම,පොදු ප්‍රශ්නයකට එක්ව විසදුම් සෙවීම විතරක්ම මදි.

ලකුණු දාගැනීම ඉතා වැදගත්. හැටියට ලංකාවේ යුද්ධය වගේ.

යුද්ධය හින්දා හැමෝම දුක වින්දා.

හැමෝගෙම ලොකු පොඩි කැපකිරීම් නිසා යුද්ධයට යුධමය විසදුමක් ලැබිල දුක් විඳීම අවසන් උනා.

නමුත් එතනින් එහාට අඩිය තියලා අනාගතය දිහා බලන්න අපේ අයට අමාරුයි.

සමහරු කැමති යුද්ධය තැන් කමති ආණ්ඩුවක් යටතේදී ඉවර උනානං.

තවත් සමහරු තමන්ගේ යුධ දායකත්වය ගැන තර්ක විතර්ක කරනවා.

බහුතරයක් වෙනුවෙන්,

බහුතරයකගේ හිතසුව පිණිස,

බහුතර මතයට ගරු කරලා වැඩ කිරීම තවම සෑහෙන ඈත.

*

 *** “ඕනෑම ක්ෂේත්‍රයක නවකයන් මුහුණදෙන ගැටළු සහ සිය අත්දැකීම්” ගැන භාතිය ජයකොඩිගේ අදහස් අලලා මීට වසර ගණනකට පෙර මවිසින් ලියන ලද සටහනක් කියවන්න මෙතනින්.

*

කවුරුහරි නවකයෙක්ට තමන් දන්නා දෙයක් හරියට උනන්දුවෙන් කියල දෙන්න උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද?

ඊයේ පෙරේදා රස්සාවල් කරන්න ගත්ත අය දන්නවා.

තමන් දන්නා දේ ඒ නවකයා, ඉගෙන ගෙන තමන්ගේ ඔලුවට අත හෝදයි කියල කල්පනා කරනවා මම හිතන්නේ.

ඒකටත් සාධාරණ අමිහිරි මතක ඇති තමයි.

ඉඳල හිටලා “මුසිල ලා ” ඉන්නවා තමයි.

*

ඒ වුනාට මිනිහෙක් පරිපුර්ණ වෙන්න වෙන්න, අතුපතර විහිදිච්ච ගහක් වගේවෙන්න ඕනේ කියලයි මට හිතන්නේ.

ලොකු වෙන්න වෙන්න තමන්ග යට ඉන්න අයට හෙවන දෙන්න ඕනේ.

අනිත් එක,ඔය ගුරු මුෂ්ටිය තියාගෙන ඉන්න අය ඇත්තටම දන්නා කෙහෙල මලක් නැහැ.

තමන්ගේ සාත්තරේ හරියටම මුල සිට අගට දන්නා මිනිහා කාටවත් කියල දෙන්න බය නැහැ.

මිනිහා බලන්න තමන් දන්නා ටික කියලා දීල, තමන් නොදන්නා දෙයක්,නොදැකපු පැත්තක් අනිත් කෙනාගෙන් දැනගන්න.

වතුර පිරුණු කලයක දිය සෙලවෙන්නේ නැහැ කියන්නෙත් ඕකටම තමයි.

*

ඇත්තටම දුර ඉඳන් තමන්ට එක එල්ලේ පහර දෙන පුද්ගලයා අපට කරන්නේ උදව්වක්.ඔහු අපට ඔහුගේ අභිලාශය කෙලින්ම කියනවා.

ඔහු අපේ වැරදි තැන් හොයාගන්න උදවූ වෙන විදියට, ඒවාට පහර දෙනවා.

නමුත් අපට සමීපව සිටින,එක්ව වැඩ කරන වෘත්තීයමය සතුරා කවදාවත් තම සතුරු වේශය අපේ රාහු කාලය තෙක් එලි කරන්නේ නැහැ.

*

පිදුම

උදේ හවස මේ මාරාන්තික සුනාමිවලට මුහුණ දෙමින්,

තමන්ගේ බෙල්ලත් බේරාගෙන,

ළඟ ඉන්න එකාවත් මරණයෙන් ගලවාගන්න හිතාගෙන,

ජීවිතේ බෝට්ටුව හබල් ගහන අපේම අයට!

*

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි. | keepin it real

මාර්තු 30, 2012 7 comments

*

*

මම පොඩිකාලේ හිතාගෙන හිටියේ

කවදාහරි ලොකු සල්ලිකාරයෙක් වෙන හැටි!

ගෙවල්, කාර් ගොඩාක් ගන්න.

කොච්චරද කියනවා නං,

කොයි දේ කවදද ගත්තේ කියලා අමතකවන තරමට.

ඊට පස්සේ ගෑණු ළමයෙක් හොයාගෙන කසාද බැඳලා ,

හරියට සුරංගනා කතාවක් වගේ ලස්සනට ජීවත් වෙන්න.

*

දැන් මෙහෙම උනා කියමුකෝ,

ඔබ හිතනවද එය මා වෙත සතුට අරගෙන ආව කියලා?

හැම වෙලාවකම දේදුන්නේ කෙලවර හොයාගෙන ගියාම

වස්තුව පිරි නිධානයක් තියෙන්න පුළුවන්.

ඒ වුනාට,

ඇත්තටම ගොඩක් සැප සම්පත් තියෙන එක,

ලබාගන්න දඟලන එක,

ඇත්තටම අපේ සතුට නැතිකරගනීමක්.

*

ඒක හින්ද පුළුවන් නම්,

තමන්ගේ ඇතුලාන්තයට එබිලා බලන්න.

ඔබට තේරේවි ඔබ කොතරම් වාසනාවන්තයෙක්ද කියලා.

ඔබ කෙතරම් දුකින් පසුතැවීමෙන් සිටියත්,

හැමවෙලේම මේ ලෝකේ

ඔබට වඩා දුක විඳින මිනිහෙක්/ගැහැණියෙක් සිටින බව මතක තියාගන්න.

*

සමහරවිට ඔබ ඉස්සර කරපු වැරදි වලට

වන්දි ගෙවන්න සිදුවෙනවා.

ඒ වුනාට ඒවාට නොසැලී

ජීවිතේ ඉදිරියට යන්න ඕනේ,

යතාර්ථයට මුහුණ දෙමින්,

සරලව,

නිරහංකාරව.

*

හෙට දවස වෙනුවෙන් අද මහන්සි වෙන

අය ගැන මට ආඩම්බරයි.

උදේ 9-5 වෙනකන් දඟලන්නේ,

පුළුවන්තරම් කරදරවලින් ඈත්වෙලා,

අනාගතේ සතුටින් ඉන්න..

ඒ වුනාට වෙලාවකට හිතෙනවා නේද,

මේ කරදරැ කවමදාකවත් ඉවරයක්‌ වෙන්නේ නැහැ කියලා.

ඔබටත් එහෙම හිතෙනවා නං,

ඒ කියන්නේ හෙට දවස අදට වඩා හොඳ එකක් වෙනවා කියන එකයි.
*

මට ඇත්තටම පොඩි කාලේ මම ගන්න හිටපු “ලොකු ගෙදර , බෙන්ස් කාරෙක ”

ගන්න අමතක උනා / මගහැරුනා.

මට දැන් ගෑණු ළමයෙක් ඉන්නවා.

ඇත්තටම අපි හොඳම යාළුවො.

“මට මේ තියෙන දේවල් මදි!!!”

කියන දේ මට නම් සාපේක්ෂයි.

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි.

“සමාජය තත්වය” කියලා කියනදේ  තන්හාව විසින් වෙනස් කරලා.

*

මම කියන දේ ඔබටත් තේරෙනවා නම්,

ඔබත් අනුගමනය කරන්න සුදානම් නම්,

ඔබ පෙරට ඇවිත් පෙරමුණ ගන්න සුදානම්ද මට කියන්න.

එහෙනම්,

දුක කරදර මැද්දේ,

අමාරුවෙන් හරි දේ කරලා ,

ජීවිතේ ජයගන්න.

*

*

ප.ලි.

*

shaggy නැවත වතාවක් ලංකාවට ප්‍රසංගයකට එන ආරංචිය හම්බුනාම අතීතයට යැවුනා.

මම දන්නේ නැහැ ඔහුගේ පළමු ප්‍රසංගය කීදෙනෙක්ට මතකද කියලා.

මම එතකොට  දිග  කලිසම් ඇඳගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්ත විතරයි.

මේ දවස්වල කෑගහන දඟලන අය අතීතය එක්කෝ දන්නේ නැහැ,

එක්කෝ අමතක කරලා.

යුද්ධය නං කොහොමටත් කාටවත් මතක නැහැ.

 *

shaggy කියන්නේ නිකම්ම නිකන්

රෙගේ සින්දුකාරයෙක් නොවේ.

ඔහු තුල සිටින සමාජයීය දාර්ශනිකයා

ඔහුගේ ගීත රැසකින් එලියට පනිනවා.

ඒවා අනික සින්දු තරම් ජනප්‍රිය නොවීම පවක්.

බලනකොට එකේ පුදුමෙකුත් නැහැ.

බාල දේ ලාබයි, සුලභයි.

  *

ඉහළින් තියෙන්නේ shaggy ගේ  සුප්‍රසිද්ධම ගීතයක් නෙමෙයි.

මගේ සටහන ඔහුගේ ‘keepin it real’ ගීතයේ පරිවර්තනයක් නෙමෙයි.

ඒක අනුවාදයක්!

ඒක තියෙන අදහසක් දෙකක් මගේ.

*


පිදුම

*

Shaggy සින්දු ඇසීමට මට පුරුදු කල,

ඒ කාලේ Shaggy වගේ රැවුල කපන්න ට්‍රයි කල,

දිලාන් අය්යාට.

අපිට දැන් සෑහෙන්න වයසයි, ඕයි!!!


මා වෙනස් වී නොමැත | I didn’t change

මාර්තු 26, 2012 2 comments

*

ඒ වීදියෙහි දීම ඇය නැවත මුණගැසුනි.

වහින්න ඔන්න මෙන්නය.

පාරේ දූවිලි මත වැහිබිඳු වැටී ඇත.

*

“ඔයා වෙනස්වෙලා ” ඇය පැවසීය.

*

වැස්ස කඩා හැලෙන්නට විය.

නෙතග දිලිසුන කඳුල දුටුවද,

නොදැක්කා මෙන් සිටීමට සිදුවිය.

*

සියල්ල සිදුවීමට කල් ගතවේ.

කාලය සියල්ල සොරා ගනී.

*

මා වෙනස් වී නොමැත.

ඔබ කිසිදිනක මා හරිහැටි දැනසිටියේ නැත.

*

-*

ඩයසපෝරික චරිත – නිහාල් අර්ථනායක හෙවත් ” DJ නිහාල් “

මාර්තු 11, 2012 6 comments
*
*
බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සිංහල ඩයසපෝරාව සිත්ගන්නා සුළු චරිත රැසකින් සමන්විතය.
හැමදාම දෙමල ඩයසපෝරාව ගැන කතාබස් ඇතිවුනද සිංහල ඩයසපෝරාව ගැන කතා බහක් නැති තරම්ය.
එංගලන්තය ගැන ම විසින් පෙර ලියන ලද ලිපි පහත සබැඳි වලින් කියවන්න.
*
ඔහුව මට මුණ ගැසී ඇත්තේ එකම එක වරක් පමණි.ඒ හැරෝවීල්ඩ්ස්ටෝන්හි පවතී
“කින්ග්ස්බරි සිංහල අවුරුදු උළෙල”කදීය.මොහු ලාංකිකයෙකු යයි යමෙක් හදුන්වාදුන්නේ නැතිනම්,
ඔහු හඳුනාගත හැකි ලකුණක් නැති තරම්ය.
*
කතාකරපු විනාඩි 5 කට
*

“අපි යනවා මචං! පස්සේ හම්බවෙමු.”

කියන්නට ඔහුට සිංහලකම තිබුණි.
*
ඔහු ගැන නොදන්නා අයට, ඔහු එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලකින් පවත් එන්නෙකි.
ඔහු වෘත්තියෙන් DJ කෙනෙකි.ඔහු බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ “රේඩියෝ වන් – BBC Radio 1″
සහ ආසියාතිකයන්ට වෙන්වූ “BBC ආසියානු සේවයේ – BBC Asian Network ” හි සේවය කරයි.
ඔහු ලෝකප්‍රසිද්ධ පුද්ගලයෙකු නොවුවද ආසියාතික සංගීතය හා සංස්කෘතිය බ්‍රිතානයේ මෙන්ම ලොව පුරා
ප්‍රචලිත කිරීමේ පුරෝගාමියෙකි.සුප්‍රකට බංගාරා සංගීතයෙන් අතිශය ජනප්‍රියත්වය පත්වූ
“Richi Rich, Jay Sean, Juggy D, Raghav ” වැන්නවුන්ට මුලින්ම ගුවන් විදුලියක ඉඩ ලැබුනේ
නිහාල්ගේ රේඩියෝ වැඩසටහනෙනි.
*
මේ 2006 දී ඔහු ගාල්ලේ පැවති ” Galle HipHop Show ” වෙනුවෙන් කරන ලද වීඩියෝවකි.
*
*
ඔහුගේ පවුලද දශකයකට හෝ ඊට පෙර එංගලන්තයට සංක්‍රමණයවූ ලාංකික පවුලකි.
එලෙස සංක්‍රමණය වූ සම පවුලක් පිටුපසම ඔවුන්ට සුවිශේෂීවූ කතාවක් තිබේ.
*
මෙම සබැඳිය නිහාල් තම පවුලේ ඉතිහාසය සහ තම සීයල ආච්චිලා සොයා ලංකාවට යන ගමන පිළිබඳව
සැකසුනු වාර්තාමය වැඩසටහනකි.
*
නිහාල්  මෙහිදී බ්‍රිතානයේ හැදෙන වැඩෙන අතර තමන් බ්‍රිතාන්‍යක් නොවන බව මුලින්ම තේරුම් ගත ආකාරය
සිහිපත් කරයි.තමාට සුදු ළමයි පකිස්තානි ජාතිකයෙක් කියා සමච්චලයට ලක් කල අයුරු ඔහු සිහිපත් කරයි.
ඩයසපෝරාවකට අයත් වීමේ භයානකම තත්වය සංස්කෘතිකමය වශයෙන් අවජාතක වීමය.
*
වරක් සිංහල අවුරුදු දිනක රාත්‍රී අහාරය සඳහා මට සිංහල පවුලකින් ආරධනාවාක් ලැබුණි.
ඒ මගේ තාත්තගේ හොඳ යාළුවෙකුගේ පවුලකි.රාත්‍රී සාදය හොඳින් පැවැත්වුණු අතර ඊට ඔවුන්ගේ මිතුරු පවුල්
කිහිපයක් සහභාගීවිය.ඔවුන් මා මුලින්ම එරට පය තැබූ දින සිට මා හට උදව් රැසක් කලට අමතරව නිතර මා
පිළිබඳව සොයා බැලුහ.රාත්‍රී සාදය අවසානයේ ඉතුරුව සිටි වැඩිහිටියන් කිහිප දෙනාට
එදින සිංහල අවුරුද් දවස වීම නිසා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා  වැඳ ආපහු නිවාස බල යාමට මම සුදානම් වුනෙමි.
ඒ අතරින් එක් වැඩිහිටි යුවලක් හඬමින් මා හා කියූ කතාව අදටත් මග හිතේ රැවු පිලිරැවු දෙයි.

*

“අපේ ලමයි අපිට වඳින්න දන්නෙවත් නැහැ පුතා.

සිංහල කතා කරන්න පුළුවන් උනත් කතා කරන්නේ නැහැ.

පන්සලකට එක්කගෙන යන්න හදනවා එන්නේ නැහැ.

ලොකු පුතා යාළුවෙලා ඉන්නේ කළු ගෑනු ළමයෙක එක්ක.

ඒ ගොල්ලෝ ඔන්න අදත් එළිවෙනකන් BBQ එකක් කියල ගියා.”

*
වැරැද්ද කා අතේද කියල හොයල කතා කරලා වැඩක් නැහැ.ඕක තමයි යතාර්ථය.
ඒ කෙසේ වෙතත් ඔය අතරේ ලංකාවේ සාමාන්‍ය ළමයි හැදී වදෙනවට වැඩ හොඳ වැදගත් ගති ගුණ එක්ක හැදී වැඩෙන,
හැම ඉරිදාම සිංහල දහම් පාසල් යන සිංහල ළමා පරම්පරාවකුත් ඔය අතරේ ඉන්නවා.
*
*
මට මුණ ගැසී ඇති අනන්තවූ ඩයසපෝරික චරිත අතරේ තමන් ශ්‍රී ලාංකිකයෙකු යයි දැනගත්දා,
සිට තමා ශ්‍රී ලාංකිකයෙකු යයි හඳුන්වාගනීම ඔහුගේ අගයකලයුතු ගතියකි.
මීට පෙර මා ලියන ලද ලිපියකට පාදකවූ ඩිලෝන් ද එවැනි අයෙකි.
*
ඔහු විසින් අප රට විදේශයන්හි ඔසවා තැබීමට කරන දායකත්වය නිහඩ එකකි.විශේෂයෙන් යධ සාමය හැ ඉන පසුව
ලංකාව පිලිබඳ දුර්මත දුරලීමට ඔහුකරන ලද මෙහෙය ඉමහත්ය.
ලාංකීය සංගීතය බටහිරට, ජාත්‍යන්තරයට ඔසවා තබන අදිසි යෝධ හස්තය ඔහුය.
*
පහත සබැඳි 2 ලංකාව පිලිබඳ ඔහු විසින් කරන ලද වාර්තාමය වැඩසටහන් 2 කි.
දහසක් කරදර මද එංගලන්තයේ හිස එසවීමට වෙර දරන ඩයසපෝරික චරිතයන් හට මෙන්ම විදේශික මුදලට බඩගින්නට ලංකාවට එරහිව
කටයුතු කිරීමට පෙළඹ සිටින ලාංකික තරුණයන්ට නිහාල් ආදර්ශයකි.
*

නිහාල් පිලිබඳ වෙනත් සබැඳුම්

*

” සඳ කැටයම “

*+*

*

*

සඳ කැටයමට – කප්පාදුවෙන වැවේ ලියද්දට

සඳ ගොම්මනට – ඉකිගසන හිත් මායිමට

මල්පැල පාමුල – පිපෙන හැමදාම හවසට 

නම නොදන්නා – රෝස පැහැ සුවදැති මලට

**

*

නෙතූ අහලකට – නින්ද නැති රැය පුරාවට

හිතෙනවා දවසක – එක්කාගෙන එන්නට

ඉහළ ඉදන්  අත්තනගලු ඔය ඉස්මත්තට

ගලනා හැටි සඳ දිය දෝරේ අපුරුවට

 

+**

සංසාරේ පුරාවට – වෙන් නොවී එකට ඉන්නට

එක හිතින් හිතා – දිවුරුම දෙන්නට ගන්නට

අර ඈතීන් පේන – ධාතුකන්ද විහාරයට

දැම්ම මල් කඩා තියන්නද – ලබන පෝයට වදින්නට 

**

*

” තරු පිපෙන රාත්‍රිය ” – star studded night sky

මාර්තු 6, 2012 3 comments

-

උපුටාගැනීමකි!

*

*

*

තරු පිපෙන රාත්‍රිය       –    ගීයක්ය දුක හිතෙන

පිණි වැටෙන හිමිදිරිය   –    කඳුලක්ය නෙත තෙමන

රාත්‍රිය නිමාවී               –    හිමිදිරිය එනතුරා

ආදරය හැඩුවාය           –    ඔබ ඉවත වීසිකළ

*

*

පසු ලිවීම

*

මේක මීට අවුරුදු 10කට විතර කලින් කරුණාදාස සුරියආරච්චි මහත්තයා ඉරිදා දිවයිනට ලියපු කවියක්.

ඒ පත්තර කොලේවත් ළඟ නැති උනාට කියවපු දවසේ ඉඳං අද වෙනකන් වචන ටික මතක තිබුනා.

ආයේ පාරක් මේක මත උනේ ඊයේ පෙරේද මගේ හොඳම යාලුවෙක් කියපු කතා දෙක තුනක් හින්දා.

*

කෙනෙක්ට තව කෙනෙක් වෙතා ආදරයක් ඇතිවීම අතිශය ස්වාභාවිකයි.

ආදාරේයි කැස්සයි හංගන්න බැහැනේ.

එක හින්ද එක ප්‍රකාශ කරන්නට උවමනා වීම සහ තවත් සාමාන්‍යයි.

ඊට‍ පස්සේ වෙන අපි අකමැති විදියට වඩා සිද්ධ වෙන දේවල් කොච්චර සාමාන්‍ය වුනත්,

අපි ඒ දේවල් සාමාන්‍ය දේවල් විදියට බාරගන්න සුදානම් නැහැ.

ජීවිතයේ ප්‍රථම වතාවට ඇතිවෙච්ච හැගීමක්,

ඒ හා සමාන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් අනිත් පාර්ශවයට කිව්වම,

ඒ වෙලේම හරි පස්සේ හරි එකට යහපත් ප්‍රතිචාරයක් නැති උනාම දැනෙන හැගීම් හැටිම වේදනාකාරීයි.

මගේ යාලුවට උනා වගේ හුඟක් වෙලාවට වෙන්නේ,

“අපි තමා ගැන අන්තිමටම දන්නේ,

අපි ඇරෙන්න මුළු ලෝකෙම දන්නවා.”

*

මේක හුඟක් වෙලාවට පොදු අත්දැකීමක්.

ප්‍රේමයේ විරහව කොච්චර පොදුයි ද කියනවා නම්,

ඊයේ පෙරේද අපි සෙට් උනාම එකෙක් කියනවා,

“මේ! මෙහෙම බැහැ!!…!!!!,අපි හැමෝම දන්නා සින්දුවක් කොඉයමු කියලා.”

“එහෙනන් ඉතින් කියන්න වෙන්නේ පොදු ගීතය තමයි” කියලා තව එකෙක් කිව්වා.

මම ඇහව්වා,“මොකක්ද මචන්,පොදු ගීතය කියන්නේ?” කියලා.

අරූ කියනවා,

“වෙන මොකක්ද ඉතින්…? ‘තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්….’ “.

ඔන්න ඕකයි තත්වය.

*

තුවාල සනීප වෙන්න කල යනව.

බෙහෙත් කරනවා වගේම හෙදකමත් උවමනා වෙනවා.

ඉවසන්නත් සිද්ද වෙනවා.

තුවාල වුනා කියලා අපි හැමදාම කරන කියන වැඩ පාඩු කරගන්නත් බැහැ.

ජීවිතේ ඉස්සරහටම යන්න වෙනවා.

සමහර තුවාල සනීප වෙන්න ගොඩාක් කල යනවා

සමහර තුවාල සනීප වෙනකොට කැළැල් හිටිනවා.

කාලය තම හොඳම විසදුම.

*

= වසන්ත කවිය =

*
මේඝ වලාවෙහි රැදී තිබුනේ ඔබ නමයි
මුදු සුලගේ රාවය ඔබ කටහඬයි
ඈත කඳුහිස රැඳී මීදුම ඔබ පහසයි
කාලයට සැඟවී නොයන ඔබ,
මා සමගම වයසට යනු ඇත.
*
කුරිරු ශීත ඍතුව බොදවෙමින් යයි.
මංමාවත් මලින් පිරී යාමට පටන් ගෙන ඇත.
ඔබ නොමැතිව මේ මග මට තනිව යාගත නොහක.
ගස්වැල් නැවත දළුලා ලියලන්නට පටන්ගෙන ඇත.
මට ඇත්තේ ඔබ පමණි.
මට උවමනාද ඔබව පමණි.
මට මාව පාලනය කරගත නොහැකිව,
අසරණවීමට පටන්ගෙන ඇත.
මගේ ශක්තියද,
දුර්වලකමද ඔබම වී ඇත.
මට ඔබ නොමැතිව තවදුරටත්
ජීවත්විය නොහැක.
මට සදාකාලිකව ආදරය කරන්න.
 *
ඔබ මා ඉහලට ඔසවා තබා ඇත.
ඔබ මා ජීවිතය් වෙනස්කොට ඇත.
මා රැගෙන පියඹා යන්න.
 *

| තරු ඇස් |

ජනවාරි 5, 2012 5 comments

*

*

*

සඳපිනි අතුල හිමිදිරිය අහිමිකරන ලදුව,

*
කාෂ්ටක දුහුවිලි කුණාටුවට සුසුමන් මුදාහැර,

*
හදගින්න සීතල හිම වැස්සට දියවෙන්නට ඉඩහල,

*
අපේ මතකය නැවත ගොඩනොගන්නම වලදමන්නට.

*
*
*

තවත් අවසන් වතාවකට,

*
කල්පයකට ඇතිවෙන්න,

*

තරු ඇස් දිහා, ඇස් නොපියා බලහිදින්නට,

*
මුලින්ම හම්බ වෙච්ච තැනට,

*
මිනිත්තු කීපයකට,

*
පුලුවන්නම් විතරක් ඇවිත් යන්න.

*

*

*

“මගේ පොඩි කාලය ” | Reliving the childhood days.

දෙසැම්බර් 23, 2011 2 comments

*

තප්පරෙන් තප්පරය අපි වයසට යනවා.

ජීවිතය විතරක් නෙමෙයි ලෝකෙම වෙනස් වෙනව.

මේ මම ලංකාවේ ඒක දිගට මාස 6ක් ඉන්නේ අවුරුද් 8 කට පස්සේ.

මේ ලඟදි ගමේ ගියහම තමයි තේරුනේ,

අපිට පස්සේ පරම්පරාවකුත් බිහිවෙලා කියලා.

අපි පරම්පරාවකින් වයසට ගිහිල්ල කියලා.

(දැනගන හිටියා,තේරුනේ ලඟදි)

*

උඩ තියෙන පින්තුරේ ඉන්න දෙන්න අතර පරතරය,

පරම්පරා හතරක්.

මේ මගේ අම්මගේ අම්මා සහ නැන්දාගේ පුතාගේ දුව!

*

අපි පොඩිකාලේ සෙල්ලම්කරපු වත්තේ පොඩි කෙල්ලෙක් දැන් දනගාන්නේ නැතුව,

හොඳට ඇවිදිනවා.

මම හවසට අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙදර එනකන් ආච්චිලා එක්ක බලාගෙන හිටියා වගේ,

එයත් ඉස්සරහ ගෙදර “ගල්වල” ඉහලින් හඳ පායනවා,

වවුලෝ පියාඹනව බලාගෙන ඉන්නවා.

වෙනසකට තියෙන්නෙ,

අපි අත්ත ආච්චි කියපු අය නැතිවෙලා දැන් අවුරුදු ගනන් ගත වෙලා.

එයා අත්තා ආච්චි කියන්නේ අපේ නැන්දාට,අම්මට,තාත්තට.

*

අම්මටසිරි!

මෙන්න මට “මාමා” කියනවා.

අඩුපාඩුවක් නැහැ මගේ පොඩි කාලේ වගේම තමයි…!

වෙන එකක් තියා එය හෙට අනිද්දා ඉස්සරහ ගෙදර අපත් එක්ක පොඩි කාලේ සෙල්ලං

කරපු ලමයින්ග්ගේ ළමයි එක්කත් සෙල්ලං කරන්න පටන් ගනී වගේ.

මගේ පොඩි කාලය කියන නාට්‍යයම තමයි තාම යන්නේ!

හැමෝම ඉස්සර රඟපාපු චරිතයට වඩා මහලු චරිතයක් තම රඟපාන්නේ!

*

ප.ලි.

*

මේ මතකය අස්සේ ,

මගේ පොඩි කාලය නාට්‍යයේ මහලුම සහ වැදගත්ම චරිතය රඟපාපු නළුවා ගැන

මතක වෙච්ච නිසා,ඔහු ගැන වෙනමම ලිපියක් ලියන්න වෙනවා.

ඔහු අතිශය අසාමාන්‍ය පෞරුශයක් හෙබි 1910-1998  දක්වා ජීවත් වෙච්ච මිනිහෙක්,

අපේ අත්තා!

*

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers