Archive

Archive for the ‘චරිතාපදාන | Biography’ Category

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි. | keepin it real

මාර්තු 30, 2012 7 comments

*

*

මම පොඩිකාලේ හිතාගෙන හිටියේ

කවදාහරි ලොකු සල්ලිකාරයෙක් වෙන හැටි!

ගෙවල්, කාර් ගොඩාක් ගන්න.

කොච්චරද කියනවා නං,

කොයි දේ කවදද ගත්තේ කියලා අමතකවන තරමට.

ඊට පස්සේ ගෑණු ළමයෙක් හොයාගෙන කසාද බැඳලා ,

හරියට සුරංගනා කතාවක් වගේ ලස්සනට ජීවත් වෙන්න.

*

දැන් මෙහෙම උනා කියමුකෝ,

ඔබ හිතනවද එය මා වෙත සතුට අරගෙන ආව කියලා?

හැම වෙලාවකම දේදුන්නේ කෙලවර හොයාගෙන ගියාම

වස්තුව පිරි නිධානයක් තියෙන්න පුළුවන්.

ඒ වුනාට,

ඇත්තටම ගොඩක් සැප සම්පත් තියෙන එක,

ලබාගන්න දඟලන එක,

ඇත්තටම අපේ සතුට නැතිකරගනීමක්.

*

ඒක හින්ද පුළුවන් නම්,

තමන්ගේ ඇතුලාන්තයට එබිලා බලන්න.

ඔබට තේරේවි ඔබ කොතරම් වාසනාවන්තයෙක්ද කියලා.

ඔබ කෙතරම් දුකින් පසුතැවීමෙන් සිටියත්,

හැමවෙලේම මේ ලෝකේ

ඔබට වඩා දුක විඳින මිනිහෙක්/ගැහැණියෙක් සිටින බව මතක තියාගන්න.

*

සමහරවිට ඔබ ඉස්සර කරපු වැරදි වලට

වන්දි ගෙවන්න සිදුවෙනවා.

ඒ වුනාට ඒවාට නොසැලී

ජීවිතේ ඉදිරියට යන්න ඕනේ,

යතාර්ථයට මුහුණ දෙමින්,

සරලව,

නිරහංකාරව.

*

හෙට දවස වෙනුවෙන් අද මහන්සි වෙන

අය ගැන මට ආඩම්බරයි.

උදේ 9-5 වෙනකන් දඟලන්නේ,

පුළුවන්තරම් කරදරවලින් ඈත්වෙලා,

අනාගතේ සතුටින් ඉන්න..

ඒ වුනාට වෙලාවකට හිතෙනවා නේද,

මේ කරදරැ කවමදාකවත් ඉවරයක්‌ වෙන්නේ නැහැ කියලා.

ඔබටත් එහෙම හිතෙනවා නං,

ඒ කියන්නේ හෙට දවස අදට වඩා හොඳ එකක් වෙනවා කියන එකයි.
*

මට ඇත්තටම පොඩි කාලේ මම ගන්න හිටපු “ලොකු ගෙදර , බෙන්ස් කාරෙක ”

ගන්න අමතක උනා / මගහැරුනා.

මට දැන් ගෑණු ළමයෙක් ඉන්නවා.

ඇත්තටම අපි හොඳම යාළුවො.

“මට මේ තියෙන දේවල් මදි!!!”

කියන දේ මට නම් සාපේක්ෂයි.

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි.

“සමාජය තත්වය” කියලා කියනදේ  තන්හාව විසින් වෙනස් කරලා.

*

මම කියන දේ ඔබටත් තේරෙනවා නම්,

ඔබත් අනුගමනය කරන්න සුදානම් නම්,

ඔබ පෙරට ඇවිත් පෙරමුණ ගන්න සුදානම්ද මට කියන්න.

එහෙනම්,

දුක කරදර මැද්දේ,

අමාරුවෙන් හරි දේ කරලා ,

ජීවිතේ ජයගන්න.

*

*

ප.ලි.

*

shaggy නැවත වතාවක් ලංකාවට ප්‍රසංගයකට එන ආරංචිය හම්බුනාම අතීතයට යැවුනා.

මම දන්නේ නැහැ ඔහුගේ පළමු ප්‍රසංගය කීදෙනෙක්ට මතකද කියලා.

මම එතකොට  දිග  කලිසම් ඇඳගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්ත විතරයි.

මේ දවස්වල කෑගහන දඟලන අය අතීතය එක්කෝ දන්නේ නැහැ,

එක්කෝ අමතක කරලා.

යුද්ධය නං කොහොමටත් කාටවත් මතක නැහැ.

 *

shaggy කියන්නේ නිකම්ම නිකන්

රෙගේ සින්දුකාරයෙක් නොවේ.

ඔහු තුල සිටින සමාජයීය දාර්ශනිකයා

ඔහුගේ ගීත රැසකින් එලියට පනිනවා.

ඒවා අනික සින්දු තරම් ජනප්‍රිය නොවීම පවක්.

බලනකොට එකේ පුදුමෙකුත් නැහැ.

බාල දේ ලාබයි, සුලභයි.

  *

ඉහළින් තියෙන්නේ shaggy ගේ  සුප්‍රසිද්ධම ගීතයක් නෙමෙයි.

මගේ සටහන ඔහුගේ ‘keepin it real’ ගීතයේ පරිවර්තනයක් නෙමෙයි.

ඒක අනුවාදයක්!

ඒක තියෙන අදහසක් දෙකක් මගේ.

*


පිදුම

*

Shaggy සින්දු ඇසීමට මට පුරුදු කල,

ඒ කාලේ Shaggy වගේ රැවුල කපන්න ට්‍රයි කල,

දිලාන් අය්යාට.

අපිට දැන් සෑහෙන්න වයසයි, ඕයි!!!


| ආචාර්‍යය අබ්දුල් කලාම් සමගින් ” ගිනිගෙන දැවෙන පියාපත් ” |

මාර්තු 16, 2012 6 comments

*

*

කුඩා මිනිසුන් අනෙක් මිනිසුන් පිළිබඳව කතාබස් කරති.

සාමාන්‍ය මිනිසුන් විවිධ දේපල,වස්තුව පිළිබඳව කතාබස් කරති.

උසස් මිනිසුන් අදහස් සංකල්ප පිළිබඳව කතාබස් කරති.

 *

*

අප කතානායකයා ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා ය.

ඔහු “ඉන්දියාවේ මිසයිල මිනිසා” ය.

ගහක පල බර වෙන්න වෙන්න අතු පතර පහලට නැමෙන්නේ යම්සේද,

ඔහුද පොළොවේ පය ගසා ජීවත් වන,

තමා ඉපදුන පොලවට පන මෙන් ආදරය කරන විරල මිනිසෙකි.

**

*

පරමානු බෝම්බ, සුනාමි හමුවේ නොසැලෙන ජපානයේ දියුණුවට හේතුව,

ජපනුන් රටක් සහ ජාතියක් ලෙස ජපානයට ආදරය කිරීමයි.

කිසිදින අවසන් නොවන ජනගහන ප්‍රශ්න හමුවේ

ඉන්දියාව මෙතරම් බලවත් වීමට හේතුව,

ඉන්දියාවේ නිරන්තරයෙන් ආණ්ඩු මාරුවුවද,

ජාතිය ගොඩනැගීමේ ප්‍රතිපත්ති මාරු නොවීමයි.

*

අප රටට අත්පත්කරගැනීමට හැකියාව ඇති මට්ටමේ දියුණුව කරා

ලඟා නොවීමට හේතුව මේ කිසිවක් නොමැති වීමය.

අපි අපේ හිටපු අන්තිම රජතුමාව මාංචු ලා ඉන්දියාවට පිටුවහල කරනතුරු

බලාසිටි ජාතියකට අයත් වන අතර අවුරුදු 500 ක වහල් බව අවුරුදු 62 කින්

සම්පුර්ණයෙන් ගසා දැමීමට අපිට නොහැක.

වෙනකක් තබා,

පශ්චාත් යුධ සමයේ ජාතියක් ලෙස පිල් බෙදී කා කොටා ගන්න හැටි නොකිවමනාය.

**

*

ඉන්දියාව ලොව හමුවේ ජාතියක් ලෙස ඔසවා තැබීමෙහි ලා “ආචාර්ය APJ අබ්දුල් කලාම්” ගේ

දායකත්වය ක්ෂේත්‍ර රැසක පුළුල් පරාසයක් විහිද පැතිර යයි.

*

ඔහු ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයාය.

එකල ඔහු “ජනතාවගේ ජනාධිපති” ලෙස හැදින්වුණු අතර ,

1997 දී ඉන්දියානු සිවිල් වැසියෙකුට පිරිනමන ඉහලම සම්මානය වන

“භාරත් රත්න” සම්මානයෙන් පුදනු ලැබීය.

ඔහු ගගන විද්‍යාඥයෙකි,ගගන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි.

ඔහු තිරුවනාතපුරම්හි පිහිටි “ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණ ආයතනය” හි

පළමු කුලපතිවරයාය. ලොව බලවත් රාජ්‍ය අතරට ඉන්දියාව ඔසවා තබන න්‍යෂ්ටික ශක්තියේ

සහ අභ්‍යවකාශගත චන්ද්‍රිකා තාක්ෂණයෙහි ඉන්දීය ලකුණ ඔහුය.

මේ සියල්ලට අමතරව ඔහුගේ දෙමල කවියට සහ වීන වාදනයට ඇති ආලය සුවිසේශී වේ.

මෑත කාලයේ “අන්න සහාරේ ” ප්‍රමුඛව ඉන්දියාව හරහා හමාගිය දුෂණයට සහ වංචාවට විරෝධී රැල්ලටද

සිය දායකත්වය වෙනත් ලෙසකින් ලබාදීමට ඔහු සමත්ව ඇත.

*   

*

ඉන්දියාව පුරා සහ ලොව වටා ඔහු විසින් කරන දේශනයන්හි කරන ලද,

ඔහුගේ අසහාය පෞරුෂය සහ දැනුම් සම්භාරය විදහාපාන,

සුප්‍රසිද්ධ කියුම් කිහිපයක සිංහල අනුවාද කිහිපයක්,

නිරතුරු සිහින දකින

නව ශ්‍රී ලාංකික තාරුණ්‍යය සහ ළමා පරපුර හමුවේ

මෙසේ දිගහැර තබමි.

*

*

  • උසස් සිහින දකින්නන්ගේ උසස් සිහින සැමවිටම සාමාන්‍ය සීමාමායිම් ඉක්මවා යයි.
  • යම් රටක් දුෂණයෙන් තොර, යහපත් මනසකින් හෙබි ජාතියක්බවට පත් කිරීම උදෙසා සමාජයේ චරිත තුනකට විශාල වෙනසක් කල හැකියි මම විශ්වාස කරමි. ඒ ම පියා  සහ  ගුරුවරයාය.
  • අපි නිදහස් නිවහල් නොවන තාක් කල කිසිවකු අපට ගරු  නොකරනු ඇත.
  • ජීවිතය ජයගැනීමට අපහසු තරඟයකි. එය ජයගතහැකි එකම මග උත්පත්තියෙන් ඔබට ලැබී ඇති මිනිසෙකු වීමට ඇති අයිතිය රඳවා ගැනීමෙනි.
  • අහස දෙස බලන්න. අපි කිසිවිටක තනිවී නොමැත .මුළු විශ්වයම  මිතුරුය. නමුත්  මුළු විශ්වයම සිහින දකින සහ ඒ සිහින සැබෑ කරගැනීමට වෙහෙසෙන අයට තම උපරිම සහයෝගය ලබාදීමට රහසින් එකඟ වී ඇත.
  • මිනිසෙකුට දුෂ්කරතා අත්‍යවශ්‍යය, ඒ මන්ද යත් ඔහු ලබන සාර්ථකත්වය භුක්ති විඳීමට එය අවශ්‍ය නිසාය.
  • තම හදවත සමග එකට වැඩ කල නොහැකි පුද්ගලයන් ලබන්නේ “මදය හිස් වූ” අර්ධ  සාර්ථකත්වයකි.
  • එය සැමවිට තිත්ත රසය හතර අත පතුරවා හරියි.
  • අප රට දෙපයින් නැගී සිටින තුරු කිසිවෙකු අපට  ගරු නොකරනු ඇත මේ ලෝකයේ “භය” ට කිසිම වටිනාකමක් නැත. ශක්තිමත්බවට ශක්තිවන්තයා ගරුකරනු  ඇත.
  • ඔබට ඔබගේ අනාගතය වෙනස් කල නොහැක.නමුත් ඔබට ඔබගේ ගති පැවතුම් වෙනස් කල හැක.ඔබගේ ගති පැවතුම් නිසැකවම ඔබගේ අනාගතය වෙනස් කරනු ඇත.
  • ඔබගේ රැකියාවට ප්‍රේම කරන්න,ඔබ සේවය කරන සමාගට ප්‍රේම නොකරන්න.මන්ද යත්, ඔබ සේවය කරන සමාගම ඔබට ප්‍රේම කිරීම නවතන්නේ කවදාදැයි ඔබ නොදන්නා හෙයිනි.
  •  ඔබගේ සිහින සැබෑවීමට පළමුව ඔබ සිහින දැකිය  යුතුය.

*

ඩයසපෝරික චරිත – නිහාල් අර්ථනායක හෙවත් ” DJ නිහාල් “

මාර්තු 11, 2012 6 comments
*
*
බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සිංහල ඩයසපෝරාව සිත්ගන්නා සුළු චරිත රැසකින් සමන්විතය.
හැමදාම දෙමල ඩයසපෝරාව ගැන කතාබස් ඇතිවුනද සිංහල ඩයසපෝරාව ගැන කතා බහක් නැති තරම්ය.
එංගලන්තය ගැන ම විසින් පෙර ලියන ලද ලිපි පහත සබැඳි වලින් කියවන්න.
*
ඔහුව මට මුණ ගැසී ඇත්තේ එකම එක වරක් පමණි.ඒ හැරෝවීල්ඩ්ස්ටෝන්හි පවතී
“කින්ග්ස්බරි සිංහල අවුරුදු උළෙල”කදීය.මොහු ලාංකිකයෙකු යයි යමෙක් හදුන්වාදුන්නේ නැතිනම්,
ඔහු හඳුනාගත හැකි ලකුණක් නැති තරම්ය.
*
කතාකරපු විනාඩි 5 කට
*

“අපි යනවා මචං! පස්සේ හම්බවෙමු.”

කියන්නට ඔහුට සිංහලකම තිබුණි.
*
ඔහු ගැන නොදන්නා අයට, ඔහු එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලකින් පවත් එන්නෙකි.
ඔහු වෘත්තියෙන් DJ කෙනෙකි.ඔහු බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ “රේඩියෝ වන් – BBC Radio 1″
සහ ආසියාතිකයන්ට වෙන්වූ “BBC ආසියානු සේවයේ – BBC Asian Network ” හි සේවය කරයි.
ඔහු ලෝකප්‍රසිද්ධ පුද්ගලයෙකු නොවුවද ආසියාතික සංගීතය හා සංස්කෘතිය බ්‍රිතානයේ මෙන්ම ලොව පුරා
ප්‍රචලිත කිරීමේ පුරෝගාමියෙකි.සුප්‍රකට බංගාරා සංගීතයෙන් අතිශය ජනප්‍රියත්වය පත්වූ
“Richi Rich, Jay Sean, Juggy D, Raghav ” වැන්නවුන්ට මුලින්ම ගුවන් විදුලියක ඉඩ ලැබුනේ
නිහාල්ගේ රේඩියෝ වැඩසටහනෙනි.
*
මේ 2006 දී ඔහු ගාල්ලේ පැවති ” Galle HipHop Show ” වෙනුවෙන් කරන ලද වීඩියෝවකි.
*
*
ඔහුගේ පවුලද දශකයකට හෝ ඊට පෙර එංගලන්තයට සංක්‍රමණයවූ ලාංකික පවුලකි.
එලෙස සංක්‍රමණය වූ සම පවුලක් පිටුපසම ඔවුන්ට සුවිශේෂීවූ කතාවක් තිබේ.
*
මෙම සබැඳිය නිහාල් තම පවුලේ ඉතිහාසය සහ තම සීයල ආච්චිලා සොයා ලංකාවට යන ගමන පිළිබඳව
සැකසුනු වාර්තාමය වැඩසටහනකි.
*
නිහාල්  මෙහිදී බ්‍රිතානයේ හැදෙන වැඩෙන අතර තමන් බ්‍රිතාන්‍යක් නොවන බව මුලින්ම තේරුම් ගත ආකාරය
සිහිපත් කරයි.තමාට සුදු ළමයි පකිස්තානි ජාතිකයෙක් කියා සමච්චලයට ලක් කල අයුරු ඔහු සිහිපත් කරයි.
ඩයසපෝරාවකට අයත් වීමේ භයානකම තත්වය සංස්කෘතිකමය වශයෙන් අවජාතක වීමය.
*
වරක් සිංහල අවුරුදු දිනක රාත්‍රී අහාරය සඳහා මට සිංහල පවුලකින් ආරධනාවාක් ලැබුණි.
ඒ මගේ තාත්තගේ හොඳ යාළුවෙකුගේ පවුලකි.රාත්‍රී සාදය හොඳින් පැවැත්වුණු අතර ඊට ඔවුන්ගේ මිතුරු පවුල්
කිහිපයක් සහභාගීවිය.ඔවුන් මා මුලින්ම එරට පය තැබූ දින සිට මා හට උදව් රැසක් කලට අමතරව නිතර මා
පිළිබඳව සොයා බැලුහ.රාත්‍රී සාදය අවසානයේ ඉතුරුව සිටි වැඩිහිටියන් කිහිප දෙනාට
එදින සිංහල අවුරුද් දවස වීම නිසා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා  වැඳ ආපහු නිවාස බල යාමට මම සුදානම් වුනෙමි.
ඒ අතරින් එක් වැඩිහිටි යුවලක් හඬමින් මා හා කියූ කතාව අදටත් මග හිතේ රැවු පිලිරැවු දෙයි.

*

“අපේ ලමයි අපිට වඳින්න දන්නෙවත් නැහැ පුතා.

සිංහල කතා කරන්න පුළුවන් උනත් කතා කරන්නේ නැහැ.

පන්සලකට එක්කගෙන යන්න හදනවා එන්නේ නැහැ.

ලොකු පුතා යාළුවෙලා ඉන්නේ කළු ගෑනු ළමයෙක එක්ක.

ඒ ගොල්ලෝ ඔන්න අදත් එළිවෙනකන් BBQ එකක් කියල ගියා.”

*
වැරැද්ද කා අතේද කියල හොයල කතා කරලා වැඩක් නැහැ.ඕක තමයි යතාර්ථය.
ඒ කෙසේ වෙතත් ඔය අතරේ ලංකාවේ සාමාන්‍ය ළමයි හැදී වදෙනවට වැඩ හොඳ වැදගත් ගති ගුණ එක්ක හැදී වැඩෙන,
හැම ඉරිදාම සිංහල දහම් පාසල් යන සිංහල ළමා පරම්පරාවකුත් ඔය අතරේ ඉන්නවා.
*
*
මට මුණ ගැසී ඇති අනන්තවූ ඩයසපෝරික චරිත අතරේ තමන් ශ්‍රී ලාංකිකයෙකු යයි දැනගත්දා,
සිට තමා ශ්‍රී ලාංකිකයෙකු යයි හඳුන්වාගනීම ඔහුගේ අගයකලයුතු ගතියකි.
මීට පෙර මා ලියන ලද ලිපියකට පාදකවූ ඩිලෝන් ද එවැනි අයෙකි.
*
ඔහු විසින් අප රට විදේශයන්හි ඔසවා තැබීමට කරන දායකත්වය නිහඩ එකකි.විශේෂයෙන් යධ සාමය හැ ඉන පසුව
ලංකාව පිලිබඳ දුර්මත දුරලීමට ඔහුකරන ලද මෙහෙය ඉමහත්ය.
ලාංකීය සංගීතය බටහිරට, ජාත්‍යන්තරයට ඔසවා තබන අදිසි යෝධ හස්තය ඔහුය.
*
පහත සබැඳි 2 ලංකාව පිලිබඳ ඔහු විසින් කරන ලද වාර්තාමය වැඩසටහන් 2 කි.
දහසක් කරදර මද එංගලන්තයේ හිස එසවීමට වෙර දරන ඩයසපෝරික චරිතයන් හට මෙන්ම විදේශික මුදලට බඩගින්නට ලංකාවට එරහිව
කටයුතු කිරීමට පෙළඹ සිටින ලාංකික තරුණයන්ට නිහාල් ආදර්ශයකි.
*

නිහාල් පිලිබඳ වෙනත් සබැඳුම්

*

” ආර්.කරුණානන්ද ” පිලිබඳ මතකය.

නොවැම්බර් 9, 2011 3 comments
*
ආර්.කරුණානන්ද ගැන ගොඩක් ඉස්සර ඉඳං දැනගෙන හිටියට ඒගැන ලියන එක,එක එක හේතු හින්ද මග හැරුණා.
ෆේස්බුක් එකේ  කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ පිටුවේ ගිය සතියේ කරුණානන්ද ගැන පලවෙච්ච ලිපිය කිසිම වෙනසකින් තොරව  පහල උපුටාගෙන පහත දාල තියෙනවා.කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයට ගොඩාක්ම ඉස්තුතියි ලිපියට.
මම කරුණානන්ද ගැන ලිපියක් ලියන්න හිටියානම්,ඒ ලියවෙන ලිපියට වඩා සෑහෙන්න හොඳට පහත ලිපියේ රචකයා ඒක ලියල තියෙනවා.කිසම දෙයක අඩුවක් නැහැ.
q
*

*

 උපුටාගනීමකි.

*
► ආර්. කරුණානන්ද – 1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයා ◄
*
මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? උසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.තම රටට ඔලිම්පික් පදක්කමක් දිනාදීම සදහා ඔහු සිය උපරිමයෙන් උත්සාහ කලේය. නරඹන්නන් ගේ උසුලු විසුලු මැද තරගය පුරාම ඒ සදහා ඔහු ගත් වෙහෙස කැපී පෙනුනි.
*
අවසානයේ ඔහු සටන ජය ගත්තේය.
අවසානයේ ඔහු තරගය නිමා කලේය.
තරගය නරඹන්නන් තම ආසන වලින් නැගිට ඔහුට ආචාර කලේය.
*
1964 ඔලිම්පික් තරගාවලියේදී නරඹන්නන් ගෙන් එවැනි ප්‍රතිචාරයක් වෙන කිසිම ක්‍රීඩකයෙකුට ලැබුනේ නැත.ක්‍රීඩාව දෙස වෙනත් කෝණයකින් බලන කෙනෙක් කරුණානන් දගේ උත්සාහය වෙනස් අයුරකින් දකිනු ඇත.මීටර් 10000 තරගය අවසානයට නිමා කල කරුණානන්ද ලැබූ ඉහල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ගැන විශ්මයට පත් වනු ඇත.

මේ 1964 වසරයි,ඒ කාලය වන විට මලල ක්‍රීඩකයන්ට අද මෙන් අනුග්‍රාහකයන්, මිල මුදල්,යාන වාහන, ත්‍යාග ආදිය ලැබුනේ නැත. මද සෙම්ප්‍රතිශ්‍යා ගතියකින් පෙලුනු කරුණානන් ද මීටර් 10000 තරගය සදහා සහභාගී වුනේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවය. තරගය ප්‍රථමයෙන් නිමා කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙලට තරග කරමින් සිටියේය.
එයට හේතු වූයේ ඒ වන විටත් කරුණානන්ද වට හතරක් පසු පසින් අවසානයට තරග වදිමින් සිටීමයි. ප්‍රථම දෙවණ හා තෙවන තරග කරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. කරුණානන්දටද ඕනෑම මොහොතක තරගයෙන් ඉවත් වීමේ හැකියාව තිබුනි. නමුත් ඔහු එසේ කලේ නැත,දිගටම ධාවනයේ යෙදුනි.
තරග නරඹන්නන් විශ්මයට පත් වුනි. ඔහු එක වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුලු විසුලු කලේය. මුලු ක්‍රීඩාංගනය පුරා සරදම් සිනා හඩ පැතුරුනි. නමුත් කරුණානන්ද නිහඩව ධාවනයේ යෙදුනි.
දෙවණ වටය අවසන් කරන විට නරඹන්නන් නිහඩ විය.
තෙවන වටය අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්‍රීති ඝෝශා නැගුනි.
කරුණානන්ද තරගය නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිට අචාර කල අතර තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන් ගේ දෙනෙත් කදුලින් තෙත් විය.
එම තරගය ජයග්‍රහනය කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් පසුව පැවසුවේ තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි.

තරගය නිම වී දින ගණනක් ගත වූවත් කරුණානන්ද පිලිබද මහත් පැහැදීමකින් පසු වූ ජපන් ජනතාවගෙන් ඔහුට ත්‍යාග රාශියක් ලැබුනි.ඔහුගේ ක්‍රියාව අගය කර කරුණානන්ද මහතාට ජපානයෙන් රැකියාවක්ද ප්‍රදානය කල අතර,ඔහු ජපානය බලා පිටත් වීමට දිණ කීපයකට පෙර ඔහු අභිරහස් ආකාරයට මරණයට පත් වුනා. මේ පිලිබදව විවිධ මත පල වූ අතර ඔහුව ඝාතනය කල බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පල වුනා.කරුණානන්ද මහතාගේ මරණය දරා ගත නොහැකි වූ ඔහුගේ බිරිදගේ සිහි විකල් වූ අතර ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්වයට පත් වුනා. ඒ ඔහුට අපෙන් ලැබුන කලගුන සැලකීමයි!!!

මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුල් විය. නමුත් අද ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්ද ගැන දන්නා ළමුන්/වැඩිහිටියන් කී දෙනෙකු සිටීද? ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුල අද මෙම ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයා ගැන සදහනක් නොමැත. එම තරගයේදී රට වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඔහු දැරූ උත්සාහයට සහ ඔහු තුල පැවති ක්‍රීඩාශීලීත්වයට ආර්. කරුණානන් ද වැනි සැබෑ විරුවෙකුට අප ගරු කල යුතු අතර අප රටේ එතෙක් මෙතෙක් ඔහු තරම් ධෛර් ‍යමත් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙක් බිහිව නැතුවාට සැක නැත.ජයග්‍රහන පමනක් බලාපොරොත්තුවෙන් තරග වැදී පරාජය හමුවේ වියරු වැටෙන අද ක්‍රීඩකයන්ට කරුණානන්දගේ කතාව සැබෑ ආදර්ශයක් වනු නොඅනුමානය(මෑතකදී අගනුවර පාසල් 2ක් අතර පැවති රගර් තරගයක් අවසානයේ පරාජිත පිලේ ක්‍රීඩකයන් ජයග්‍රහනය කල පිලේ ක්‍රීඩකයන්ට කල අමානුෂික පහරදීම සිහිපත් කිරීම වටී).

ජීවිතයේ ඔබ මානසිකව ඇද වැටී අධෛර්යමත්ව සිටින මොහොතක රණතුංග කරුණානන්ද නම් වූ ඒ අසහාය ශ්‍රී ලාංකිකයා ගැන සිහියට නගා ගන්න.
ලෝකයා ඔබ කරන දෙයට සිනා සෙන විට නරඹන්නන් ගේ සරදම් මැද තනිවම වට හතරක් ඔහු ධාවනයේ යෙදුනු ආකාරය සිහිපත් කරන්න.

…පුළුවන් තරං යතාර්ථයට ලංවෙන්න | get closer to the reality as much as you can.

1

අපේ රටේ ඇති දේ ඇති සැටියෙන් දකින්න පුළුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි.

ඇත්ත උනත් කියන මිනිහගේ පෞරුෂය අනුව එක මිනිස්සු අතරට යන විදිහ වෙනස් වෙනවා.

අද සමහර රතු පාට කමිස අදින අය කියන විදිහට හච්චිමක් ගියත් ඒක අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණයක්.

අනිත් දේ කවුරු කොහොම අදහසක් ඉදිරිපත්කලත් ඒකට දේශපාලන ලේබල් එකක් වදිනවා.

අර දවසක් මම “චේ ගුවේරා” කියන පුද්ගලයා ගැන ලංකාවේ මිනිස්සු හිතන ඉන්න විදිහ ගැන.

ඒ පරණ ලිපිය මෙතනින් කියවන්න.

1

1

මොහාන් සමරනායක කියන පුද්ගලයා අපි මුලින්ම දැක්කේ ඉස්සර රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහනෙන්.

ඔහු අවිවාදාත්මකව බොහෝ ඇසු පිරූ තැන් ඇති අයෙක්.

සත්‍ය වටහාගන්න උත්සාහයක් දරන්න තරම් උවමනාව තියෙන කෙනෙක්ට ,

ඉගෙන ගන්න ඕනෙ තරම් දේවල් ඔහුගේ මේ කතාවේ තියෙනවා.

සැබෑ දේශප්‍රේමියෙක් ! | A True Patriot

ජූලි 10, 2011 8 comments

අපේ පරම්පරාවේ අය හුඟක් වෙලාවට පරමාධර්ශී චරිත ලෙස මුල් තැනක් දෙන්නේ පිටරට චරිත වලට.උදාහරණයකට පරිගණක හෝ තොරතුරු තාක්ෂනය ආශ්‍රිත විෂය ධාරාවල අධ්‍යනය නියුතු අය හැමවිටම ඔලුව උස්සල බලන්නේ බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග් වගේ වගේ අය දිහා. ඔවුන්ගේ ජීවිත කතා ඇත්තටම සුවිශේෂී ඒවා.ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා.

ඇයි අපි ලංකාවෙ මිනිහෙක් දිහා එහෙම බලන්නෙ නැත්තේ?
ලංකාවේ එහෙම මිනිස්සු නැද්ද?

නැහැ, ලංකාවෙත් එහෙම මිනිස්සු ඉන්නවා.

1

ඔවුන් ඉස්මතුවී නොපෙනෙන්නට එක හේතුවක් වෙලා තියෙන්නෙ ලංකාවෙ එහෙම ආදර්ශමත්යයි වරක් තමන් හිතාගත් පුද්ගලයා කෙරෙහි හිත බිදී යාමයි.මේක වෙන්නේ එම පුද්ගලයෝ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් දේශපාලන බලපෑම්වලට ලක්වීමයි.කවුද කියල මම කියන්න ඕනේ නැහැ, හිතාගන්න.

1

මේ පුද්ගලයෝ අතරේ නිහඩව රට වෙනුවෙන් තමන්ගේ ක්ෂේත්‍රයේ නියුතුව තමන්ගේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන මිනිස්සු කොටසක් ඉන්නවා.ඒ අය ඉස්මතුවෙලා පෙනෙන්නේ නැහැ.කොටින්ම මිනිස්සු රජයේ සේවයට කොච්චර බැන්නත් රජයේ සේවයේ නියුතු දැඩි කැපවීමෙන් වැඩ කරන කොටසක් ඉන්නවා.

1

මේ කතාකරන්න යන පුද්ගලයත් නිහඩව තමන්ගේ සේවය තම මවුබිමට, දේශීය ආර්ථිකයට තම දායකත්වය ලබාදෙන අයෙක්.ඔහුගේ අදහස් හරිම ප්‍රායෝගිකයි.ඔහු බොහෝ ඇසූ පිරූ තැන් අත්දැකීම් බහුල සාර්ථක ව්‍යාපාරිකයෙක්.

සරල ජීවිතයක් ගත කරන පොළොවේ පය ගහල් ඉන්න මිනිහෙක්.
1

ඔක්කොටම වැඩිය ඔහු රටට ආදරය විතරක් නොකර රට වෙනුවෙන් යමක කරපු මිනිහෙක්.

 

1

සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින් නරඹන්න.

 

 

 

| අතරමගදී ජීවිතය මග හැරීම |

ජූලි 7, 2011 8 comments

මගේ බ්ලොග් එකෙන් උපුල් ශාන්ත සන්නස්ගල ගැන මුලින්ම යමක් ලිව්වේ ගිය අවුරුද්දෙ අගෝස්තු මාසේ.

එදා වගේම තමයි අද වෙනකොටත් ඔහුගේ දේශපාලන අදහස් ,මට සත පහකටවත් වැදගත් නැහැ.ඒවා ඇත්තටම වැදගත් උනා හෝ නැතා හෝ මම අදටත් කතාකරන්නේ ඒවා ගැන නෙමෙයි.

අදාළ ලිපිය මෙතනින් කියවන්න.

මේ ලිපිය 2007 සැප්තැම්බර් 30 ඉරිදා සිළුමිණ පත්තරේ පල වෙච්ච එකක්.මේකේ තියෙන දේවල් මම මුලින්ම ඇහුවේ ස්වර්ණවාහිනියේ පෝය දවසක තිබිච්ච සාකච්ඡාවකදී.ඒකට උපුල් ශාන්ත සන්නස්ගල,වී.ජ.මු.ලොකුබණ්ඩාර සහ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ සහභාගී උනා.එක මෙහෙයවුයේ හරින්ද්‍ර ජයලාල්.

සන්නස්ගල මේකේ තියෙන “රොටිය අම්මට ඉතුරු නොකර කාපු කතාව” කියන වෙලාවේ ධම්මාලෝක හාමුදුරුවෝ වටාපතෙන් මුහුණ වහගෙන ඇස්වලට ආපු කඳුළු පිහදාගත්තා.

ඒ වැඩසටහන මට ඇති කරපු කම්පනය තමයි අද වෙන කන මගේ හිතේ තියෙන්නේ.

ප්‍රශ්න හින්දා ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ඕනේ ධෛර්යය ඕනේ උනහම මම පෞද්ගලිකව කරන වැඩවලින් එකක් තමයි,එක එක පුද්ගලයන් කරන කතාවලට අහුන්කන්දෙන එක, චරිතාපදාන කියවන එක.මේකත් ඒ ගොඩට අයිති කියවීමක්.

අපි දකින විඳින ජීවිතයම,

මේ ඉරහඳ යටම,

අපේ යුගයේදීම විඳලා,

අපි දන්නා කියන

දේශපාලනික,සමාජයීය සහ ආර්ථික බලපෑම් වලට යටත්ව ,

අපිට වඩා අත්දැකීමවලින් පරතෙරට ගිය මිනිහෙක් විදිහට,

මේ කියන දේවල් වල මාර ගැඹුරක් තියෙනවා.

කල්පනා කරන්න,

නැවත හිතන්න දෙයක් තියෙනවා.

 c

හර්ෂ භෝග්ලේ සමඟින් ” විශිෂ්ටත්වය කරා යන මාවත ” | “Path to Excellence” with Harsha Bhogle

දෙසැම්බර් 5, 2010 18 comments

මම දන්නේ නැහැ රුපවාහිනියේ ක්‍රිකට් මැච් බලන කට්ටිය කීදෙනෙක්
හර්ෂ භෝග්ලේ කියන විස්තර විචාරකයාව දන්නවද කියල.
හර්ෂ භෝග්ලේ කියන්නේ අද පවතින සජීව් ක්‍රිකට් විස්තර විචාරයේ සහ
නිෂ්පාදනයේ පුරෝගාමියෙක්.

ඔහු අන් විස්තර විචාරකයන් වගේදක්ෂ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවෙයි.
නමුත් ඔහු අවිවාදයෙන්ම වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලික ජීවිතයේ
සාර්ථක චරිතයක්.මේ ඔහු තමන් උසස් අධ්‍යාපනය ලද ඉන්දියාවේ අහමදාබාද් හි
ඉන්දියානු කළමනාකරණ ආයතනයේ  “විශිෂ්ටත්වය කරා යන මාවත” යන මැයෙන්
පවත්වන ලද කතාවක් ඇසුරින් ලියන ලද සටහනක්.

වඩා වැදගත් අපගේ ගමනාන්තයද ?
එම ගමනාන්තය කරා අපව ගෙනයන මාවතද?

හැමවිටම ගමනාන්තය කෙලවර ඇති දෙය අත්පත්කරගැනීමේ ආශාව අපව ඒ ගමනාන්තය කරා ගෙනයන වාහනය බවට පත්වෙනවා.
ඇත්තටම ඒ ගමනාන්තයේ වැදගත්කමට බොහෝවිට මුල්තැන හිමිවෙනවා,
නමුත් අපි වයසට යනවිට,
ජීවිතයේ තව දේ දකින විට ගමනාන්තයට වඩා ගමන්මග වැදගත් බව අපට පේන්න ගන්නවා.
අපි අපේ අරමුණු පත්කරගන්න ඉලක්ක විටෙක අපේ ආතතිය වැඩිකර,අපේ ගමන යාමේ බාධක බවට පත්වෙනවා .
ගමන පසෙක තබා ගමනාන්තයට ප්‍රමුඛත්වය ලබාදීම භයානක ප්‍රතිඵල ලබා දෙනවා.

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සින්ග් වරක් පවසා තිබුන තමන් ශතක ලබනොගැනීම නිසා මානසික ආතතියට පත්වී ඇතිබව.ලකුණු සියයක් රැස්කිරීම පිතිකරුවෙක්ට ඉතා හොඳ දෙයක් වුනාට ,එය සාර්ථකත්වය කරා වැරදි පාරක ගමන් කිරීමක්.සාර්ථකත්වය ලබාගැනීමට කළහැකි මොනයම්ම දෙයක් හෝ කිරීම නුසුදුසුයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු මනෝ වෛද්‍යවරයා ඔහුට දුන් උපදෙස උනේ.
“ඔබ අංක 6 පිතිකරුවෙක් ලෙසේ පිටියට පැමිණ ,නොදැවී ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්න.එය ඔබේ අරමුණ කරගන්න.”

මහන්සි වී වැඩ කිරීම
මහන්සි වී වැඩ කිරීමට සමාන වෙනකිසිම් දෙයක් නැහැ.

ඇලන් බෝඩර් වරක් මට පැවසුවා ,ඔහු ඔහුගේ ක්‍රීඩකයන්ට ඔහු පවසන දේ.
“හැමවිටම ලකුණු ගැන බලන්න,
ඩොලර් ගැන බලන්න එපා.
ලකුණු ඩොලර් ගැන බලා ගනීවි”
මෙය තමයි සාර්ථකත්වය කරා යන මාර්ගය.

ඔස්ට්‍රේලියානු පුහුණුකරුවන් සැමවිටම පවසන්නේ
“ප්‍රතිඵලය අමතක කරන්න ,
ඔබගේ දක්ෂතාවය ලන්ගාකරගනීමේ ක්‍රමවේදයට ප්‍රමුඛත්වය දෙන්න.
ප්‍රතිඵලය ලැබීම හෝ නොලැබීම බාධාවක් කර නොගන්න.”
ඔලිම්පික් පිහිනුම් තරගයකදී මංතීරු අංක හි පිහිනනන් ක්‍රීඩකයාට අනෙක් මංතීරුවල පිහිනන ක්‍රීඩකයන් කරන දෙයට කිසිදු බලපෑමක් කල නොහැකියි.

බොහෝවිට තරගයක් පරාජය වෙන්නේ,
අනෙක් කණ්ඩායම හොඳට ක්‍රීඩා කිරීම නිසා නොව,අපි අපේ උපරිමය ක්‍රීඩා නොකිරීම නිසා.

ඒක හරියට ඔබේ ආච්චි අම්මා කියපු දේ වගේ,
“කවදාවත් හැදෙන පලතුර ගැන හිතන්න එපා “,
ඔබේ උපරිමය ඉටු කරන්න.

විශිෂ්ටත්වය ලැබෙන්නේ අප පෙන්වන දක්ෂතාවයෙන්.
දක්ෂතාවය ලැබෙන්නේ පුහුණුවෙන්.ක්‍රීඩාංගනයේ දකින්නට ලැබෙන්නේ
දැඩි පුහුණුවීම්වල ප්‍රතිඵල.

අපට කවදාවත් 100%කට වැඩිය ලබාදෙන්න බැහැ.
ලීටර් එකේ පෙප්සි බෝතලයකට ලීටර් දෙකක් පුරවන්න බැහැ.
ඔබ ඔබේ උපරිම හැකියාව දක්වලා
ලැබෙන ප්‍රතිපඵලයෙන් සැනසෙන්න පුරුදු වෙන්න ඕනේ.

විශිෂ්ටයෙකු කිසිම විටක නිදහසට කරුණු හොයන්නේ නැහැ.
ඔහු හෝ ඇය පරාජයකදී කියන්නේ
“ඔවුන් මට වැඩ දක්ෂයි,මම තවත් දවසක උත්සාහ කරනවා ” කියලයි.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 1998 දී ඉන්දියාවට ආවා,පැරදුනා.
ඔවුන් කවදාවත් නිදහසට කරුණු කිව්වේ නැහැ.
2001 දී ජයග්‍රහණය ළඟටම ආවා. පැරදුනා.
2004 දී දිනුවා.

සාර්ථකත්වය යනු ඔබ ඔබේ උපරිමය නොනවත්වා ලබාදීමේ ක්රියාදාමයකෙයට කිසම විටක බුරුලක් ලබා නොදියයුතුයි.

මම සජීවී වැඩසටහන් ඉදිරිපත් කරද්දී වැරදීම් කල නොහැකියි.
නමුත් මම පටිගතකල වැඩසටහන් ඉදිරිපත්කරද්දී
“මෙහිදී මට වැරදුනොතින් තව වතාවක් උත්සාහ කල හැකියි ” යන අදහස මගේ ඔලුවට එනවා.ඒ කියන්නේ මමං එයට මගේ උපරිමය එනම් 100% යොදවන්නේ නැහැ.වරක් මට එක වැඩසටහනක් 22 වතාවක් පටිගතකිරීමට සිදුවුණා.
මම හිතාගත්ත මම නැවත පටිගතකරන වැඩසටහන් කරන්නේ නැහැ කියල.
කලත් මම හිතාගන්න මම මේ කරන්නේ සජීවී වැඩඅසටහනක්‌ කියල.
එවිට මම එයට මගේ උපරිමය ලබා දෙනවා.

වරක් මගේ සහෝදර පුවත්පත් වාර්තාකරුවෙක් කියනව
“මම ලියපු ලිපිය හොඳ නැහැ කියල මමම දන්නවා”.
මම ඇහුවා “ඔබ ලිපිය ලියන්නේ ඔබගේ නමින් නේද කියල?”
ඔහු “ඔව්” කිව්වා.
“ඉතින් තමන්ගේ නමින් ලියන ලිපිය තමන්ටම හොඳ නැහැ කියල තේරෙනවා නම් ඇයි පලකරන්නේ?”
ඔහු එයට ඔහුගේ උපරිමය ලබාදී නැහැ.ම් රස්සාවේදී අපි ලියන දේ කවුරු බලනවද,
කවුරු කියවනවාද කියන්න අපි දන්නේ නැහැ.

වරක් මම කිව්වා
සුනිල් ගවස්කාර් බැට් කරන්නේ අතීතයේ ඉන්දියාවේ තිබු සමාජවාදී ආර්ථිකය වගේ කියල.
ගවස්කාර් ඒ යුගයේ නිෂ්පාදනයක්.එම යුගයේ ඉතා විශාල ඉතුරුම් සංචිත සහිත සෙමෙන් නමුත් ස්ථාවර ගමනක යන ආර්ථිකයක් තම ඉන්දියාවේ තිබුනේ,
නමුත් සචින් ටෙන්ඩුල්කාර් අලුත් ආර්ථික ක්‍රමයේ නිෂ්පාදනයක්.
හුස්මක් ගන්නවත් ඉඩක් කඩක් නැහැ.
හැකිතරම් වේගයෙන් ලකුණු රැස් කර සීග්‍ර සංවර්ධනය කරා යා යුතුයි.
මේ කියමනට ලැබුණු ප්‍රතිචාර ඇති විශාලයි.

විශිෂ්ටත්වය කරා යන ගමනේදී සැමවිටම තමන්ට වඩා විශිෂ්ට පුද්ගලයන් තමන් වට කරගන්න.

තමන් යන ගමනේදී තමන් අනාරක්ෂිත බව දැනෙන විට තමයි තමන්ට වඩා බාල අඥාන පුද්ගලයන්ව වටකරගන්නේ.මෙවිට තමාගේ වර්ධනය නතරවෙනවා.
එම පුද්ගලයන තමන්ගේම ක්ෂේත්‍රයේ අය විය යුතු නැහැ.

මට මගේ ක්ෂේත්‍රය වීරයන් හිටියේ නැහැ.
මම වැඩිපුරම ගවසුනේ කැමරාකරුවන් සහ වීඩියෝ නිෂ්පාදක ශිල්පීන් සමග.
මට උවමනා උනේ ඔවුන් ඔවුන්ගේ ක්ෂේත්‍රයේ දක්වන දක්ෂතාවය කෙතරම්ද ,
ඒ තරමටම මම මගේ ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වෙන්න.
ක්ෂේත්‍රයේ එක මට්ටමකට එනවිට එක අවස්තාවක තමන්ට වඩා අදක්ෂයින්ව වට
කරගන්නවා.තමන්ට එරෙහිව එන විවේචන වලට වෛර කරනවා.අපට අපි ගැන විවේචනය කරන විචාරකයින්ට ගරහන්න කිසිම වුවමනාවක් නැහැ.

වරක් ෂේන් වෝර්න් ගේ බිරිඳ පවසා තිබුනා තමන්ගේ සැමියා ජීවත් වෙන්නේ දිය බුබුලක් තුලය කියලා.ඔහුට ඔහු කරන දේ වැරදි යයි පවසන්නට කිසිවෙක් නැහැ.
අනෙක් කාරනාව තමයි කිසිම විටක තමාගේ රසිකයෙක්ව හෝ රසිකාවියක්ව විවාහ කරගන්න එපා.තමාගේ වැරදි පෙන්වා දිය හැකි අයෙක්ව විවාහ කරගන්න.

අහංකාරකම ලොකුම බාධාවයි
ඉන්දියානු ක්‍රිකට් සහ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් දියුණු නොවීමට ප්‍රධාන හේතුව මෙයයි.
ඔවුන්ගේ ලොකුම අභිමානය “තමන් කොතරම දුරට ක්‍රිකට් ක්‍රීඩා කර තිබේද?” යන්නයි.
මෙය සම ක්ෂේත්‍රයකටම පොදුයි.

මම මගේ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට මම මගේ වෘත්තීය වෙනුවෙන් ඉදිරියට යාමට ඇති සුදානමයි.අනෙක් විස්තර විචාරකයන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්.ඔවුන් සිතා සිටින්නේ මෙලොව ඉදිරියට යාමට අවශ්‍ය එය පමණක් බවයි.
වරක් මට ගුවන් යානයකදී බොලිවුඩ් නිලියක් මුණගැසුනා.
ඇය මට පවසනවා,”හැමෝම හිතන ඉන්නේ අපිට සැහෙන්න සල්ලි තියෙනවා කියල,අපි සැහෙන සල්ලි හම්බකරනවා කියල කියල.ඒ හින්ද අපි හැමවෙලාවෙම එක පවත්වාගෙන යන්න ඕනේ,අපිට එක දරාගන්න බැරි උනත් ”

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට්වලින් තොර ලෝකයක් නැහැ.
ඔවුන් ඒ ලෝකයෙන් පොඩ්ඩක් එලියට එවිත් ටයිගර් වුඩ්ස්,පීට් සම්ප්‍රාස්,ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් යන ක්‍රීඩකයන්ගේ ලෝකයට එබී බලන්නේ නැහැ.
මෙය තමයි ඔවුන් දියුණු නොවීමට හේතුව.

අනෙක් අන්තයේ පිතිකරුවා.
මගේ ක්‍රිකට් ජීවිතයේ උපරිමය මගේ සරසවි ක්‍රිකට් කන්ඩායමට ක්‍රීඩා කිරීම.
මම කණ්ඩායමේ හොඳම පිතිකරුවා නොවෙයි,හොඳම පන්දු යවන්නා නොවෙයි.
මට උවමනා උනේ හොඳම පන්දු රකින්නා වෙන්න.
ඒකෙන් මට පුළුවන් උනා ටීම් එකේ හැමෝම එක්ක යාලුවෙන්න.
පන්දුයවන්නේකුගේ දුර්වල පන්දුවකට ගහන හතරේ පහරක් එක ලකුණකට සීමා කලහම මම වීරයෙක්.ඒ ක්‍රියාව යන්නේ පන්දු යවන්නාගේ වාර්හාවට.
මම අංක 8 පිතිකරුව විදියට පිටියට එනකොට මිනිස්සුන්ට ඕනේ අංක 5 පිතිකරුව පන්දුවට පහරදෙනවා බලන්න.මම ලකුණක් අරගෙන එහාපත්තට ගියාම මිනිස්සු අත්පුඩි ගහනවා.
මේ විදියට මම කඩුළු අතර සම්බන්ධතා ගොඩක් පැවැත්වුවා,
කණ්ඩායමට මගේ අගය වැඩි වුනා.

විස්තර විචාරයට එක්වීමේදී,මම වටේ ඉන්න සියලුදෙනා ලොව දිනු ක්‍රිකට් ක්‍රීඩකයන්.මම එහිදී උත්සාහ කලේ මමත් සමග සිටීමේදී සුනිල් ගවස්කාර්ගේ හෝ ජෙෆ් බෝය්කොට්ගේ අගය වැඩිකර පෙන්වීමටයි.මෙමගින් ඉබේම මගේ අගය වැඩිවී පෙනුන.

තමාගේ අහංකාරකම සහ තරහා යාම ඇතිවිට ඔබව පරදවන්නට වෙනත් ප්‍රතිවාදියෙක් අවශ්‍ය නැහැ.ඔබ සැහෙන දුරට පැරදිලා ඉවරයි.

මේකට කියන්නේ ,
තමන්ව වෙන්කර තැබීමෙන් තමන්ව වෙනම ප්‍රස්තුඋතයක් බවට පත්කරගැනීම සමහරව්ට සාර්ථක වෙනවා.

දක්ෂතාවය
සියලුදෙනාම දක්ෂතාවයට ලොකු තැනක් දෙනවා.
මිනිසුන්ට තියෙන දක්ෂතා ගැන අපි කොච්චර පුදුම වෙනවද?
සමහරවිට ඔබ හිතනවා ඇති “අනේ,මටත් එහෙම වෙන්න තියෙනවා නං ” කියල.
නමුත් ඔබ කවද හරි වටහාගනේවි සාර්ථකත්වය කියන්නේ දක්ෂතාවය පමණක් නෙවෙයි කියල.  

සාර්ථකත්වයේ සැහෙන ප්‍රතිශතයක් කෙරෙහි දක්ෂතාවයෙහි කිසිම බලපෑමක් නැහැ.
ඔබ යම් සන්ධිස්ථානයක් පසු කලාට පස්සේ යම් දෙයක් කෙරෙහි දක්ෂවීමෙන් කිසිම පලක් නැහැ.
වැදගත් වෙන්නේ තමන් සතු දක්ෂතාවයෙන් ඔබ කරන්නේ මොකක්ද කියන දේ.
එතකොට තමයි “ආකල්ප” කියන දේ එන්නේ .
ඇත්තටම වැදගත් වෙන්නේ තමන් දරන ආකල්පය.
දක්ෂතාවය යම් දුරකින් පස්සේ ප්‍රශ්න විසදන්නේ නැහැ.
ආකල්පය ඔබව සැහෙන් දුරක් ගෙනියනවා.

දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පාරේ ගමන් කරනකොට වාහන තදබදයකට අහුවුනාම
කරන්න ඕනේ මොකක්ද කියල දන්නේ නැහැ.
මොකද ඔවුන්ට කවදාවත් සාර්ථක වෙන්නේ මහන්සි වෙන්න ඕනේ වෙලා නැහැ.
දක්ෂතාව ඔවුන්ව මේ තාක් දුරට ගෙනල්ල තියෙනවා.

විනෝද් කම්බ්ලි ඊට උදාහරණයක්.
1994 දී ඔහුට වයස අවුරුදු යි.කොදෙව් කණ්ඩායමේ කර්ට්නි වොල්ෂ් බවුන්සර් පන්දුවක් එව්වට පස්සේ කරන්න ඕනේ මොක්කක්ද කියල ඔහු දැනගෙන හිටියේ නැහැ.
ඊට පස්සේ එකම ටෙස්ට් තරගයක් වත් ක්‍රීඩා කලේ නැහැ.
ඒ වෙනකන් ඔහුහේ දක්ෂතාවය ඔහුට සාර්ථකත්වය උදා කරලා තිබුන.

ඔස්ට්‍රේලියානු යුධ හමුදාවේ විශේෂ කාර්ය බලකා කණ්ඩායම් සඳහා කවදාවත් අසාර්ථක වෙච්ච නැති පුද්ගලයෙක්ව බඳවාගන්නේ නැහැ.
මොකද ඔහු කවදාවත් අසාර්ථක වෙලා නැත්තම් ,
ඔහු අසාර්ථක උනහම කරන්න ඕනේ මොනවද කියන දේ දන්නේ නැහැ.
ඔවුන් බදවා ගන්නේ අසාර්ථක වෙලා ,මහසියෙන් නැවත සාර්ථක වූ පුද්ගලයන්ව.

මෙහිදී තමයි ආකල්පය වැදගත් වෙන්නේ.
දක්ෂතාවය තිබීම වැදගත්,දක්ෂතාවය සමහරවිට ඔබව ඔබේ ක්ෂේත්‍රයේ ඉහලම දසදෙනා අතරට ගෙනයාවි.
ඒ දස දෙනාටම තියෙන්නේ එකම දක්ෂතාවය.
මෙහිදී තමයි නිවැරදි ආකල්ප සමගින් යුතුකම් සහ වගකීම් ඉටුකරනා පුද්ගලයා ඉස්මතුවෙන්නේ.

සචින් ටෙන්ඩුල්කාර් මීට හොඳ උදාහරණයක්.
ඔහු වයස අවුරුදු 14 දී තරග 55 ක් ක්‍රීඩා කළා.තරගයක් අවසාන වූ පසු
පැය2 ක් පුහුණුවීම් කරලා නැවත හෙට උදේ අනෙක් තරගය.
ඔහුගේ සාර්ථකත්වයට හේතුව
ඔහුගේ තිබු ආකල්ප,වෘත්තීයමය නිපුනතාවය සහ ඒ කෙරෙහි තිබු ආදරයයි.
දක්ෂතාවය ඔබට පළමු දොර ඇරලා දෙයි,
දෙවෙනි දොර ඇරලා දෙයි,නමුත් තුන්වෙනි දොර ඇරලා දෙන එකක් නැහැ.
පන්දු යවන ක්‍රීඩකයා ඔබ තරම්ම දක්ෂයි.
ඔහු ඔබ දක්ෂයෙක් කියල පහරදීමට පහසු පන්දුවක් එවන්නේ නැහැ.
ඔහු බලන්නේ ඔබව ඉක්මනින් දවාගන්න.

වැරදිවලින් ඉගෙනගැනීම.
වැරදීම් කිරීමෙහි කිසිම් වැරද්දක් නැහැ,
තමන් කරන වැරදි තමයි කවදාහරි තමන්ගේ හොඳම මිතුරන් වෙන්නේ.
හේතුව වැරදි ගොඩක් කලහම අපි දැනගන්නවා අපි නොකළ යුතු දේවල් ගැන.
අපි නොකළ යුතු දේවල් සැහෙන්න දැනගත්තම
අපි කලයුතු දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.
හැමෝටම වැරදි නොකිරීමේ අවස්ථාවක් නැහැ.
වැරදි දේ තමයි එක පාරක් කරපු වැරැද්ද දෙවැනි තුන්වෙනි පාරටත් කිරීම.

තමන්ගේ වෘත්තීය පිළිබඳව තමන්ට දැනගන්න පුළුවන් දේ අංශුමාත්‍රය දක්වාම දැනගන්න පුළුවන් නම් දැනගන්න.

විශිෂ්ටයෙකු වීමට වාසනාව අවශ්‍යද?
වාසනාව කියන දේ පිළිබඳව අදහස් විවිධාකාරයි.
මම හිතන්නේ වාසනාව කියන්න “ලැහැස්තිවීමේ ” සහ “හඳුනාගැනීමේ” සංයෝජනයක් කියල.
හඳුනාගැනීම කියන්නේ අවස්ථාව හඳුනාගැනීම.

පාපන්දු තරගයකදී ප්‍රහාරක ක්‍රීඩකයෙකු වීමේ ඇති වැදගත්කම කුමක්ද?
අනෙක් ක්‍රීඩකයෝ බෙල්ල කඩාගෙන පිටියේ එහාටයි මෙහාටයි දුවනවා පන්දුව හසුරුවාගන්න.
ප්‍රහාරකය සතුරාගේ දල අසල සිට ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව හඳුනාගන්නවා.
පන්දුවට පහර දෙන්න සුදුසු තැන වෙත ඔහු යනවා.
මේක ලැබෙන්නේ දැඩි පුහුණුවෙන්.

ගොල්ෆ් ක්‍රීඩක ගැරී ප්ලේයර් වරක් කිව්වා ,
“මම මහන්සි වෙලා පුහුනුවෙන තරමට මගේ වාසනාව වැඩිවනවා” කියල.

ප්‍රංශ සවාරිය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කරපු
ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ජයග්‍රහණයෙන් පස්සේ වරක් පැවසුවේ,
“මම ඇත්තටම ප්‍රංශ සවාරිය ජයගත්තේ අද නෙවෙයි.
මම හිම වැටෙන කොට,තට්ට තනියම,කවුරුවත් පුහුණුවීම් නොකරන කාලේ
කඳු අතරේ පාපැදි ධාවනය පුහුණු වුනා.
අන්න,එවිට තමයි මම මේ තරගය ජයගත්තේ.”

ඔබට ඔබේ මොහොත ලැබුන විට,
වහාම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ.
ඒ අවස්ථාවට සුදානම් වෙන්න මහන්සි වෙලා වැඩකරන්න වෙනවා.

ඔබගේ දැනුම අන් අයට කියල දෙන්න.
ඔබෙන් ඉගෙනගත්තු පුද්ගලයා ඔබේ දැනුම අරගෙන කවදාහරි ඔබට වඩා ඉහලට යයි කියල බයවෙන්න එපා.
විශිෂ්ටයෙකු කවදාවත් අනාරක්ෂිත නැහැ.

විශිෂ්ටයෙකු ජීවත්වන්නේ වර්තමානයෙහි මිස අතීතයේ නොවේ.
අතීතය වර්තමානයට වඩා කීර්තිමත් නම්,
ඒ දේට කවදාවත් සුභ අනාගතයක් නැහැ.
අතීතය අමතක කල යුතු නැහැ,අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුයි.
වර්තමානයට උපරිමය ලබා දියයුතුයි

 

අතුරු සබැඳි :

හර්ෂ භෝග්ලේ පිලිබඳ විකීපීඩියා පිටුව

හර්ෂගේ කතාව පලවන කොටස

හර්ෂගේ කතාව දෙවන කොටස

| හේ නමින් අර්නස්ටෝ “චේ” ගුවේරා ය. |

ඔක්තෝබර් 9, 2010 9 comments

අද ඔක්තෝබර් නවවෙනිදා.
1967 අදවැනි දවසක බොලිවියාවේ ලා හිගුවෙරාවෙදී  එක්තරා මිනිසෙකුට
වෙඩි තබා මරාදමන ලදී.
හේ නමින් අර්නස්ටෝ චේ ගුවේරා ය.

චේ පිලිබදව විවිධ පරම්පරාවලට අයත් ය දරන විවිධ මතිමතාන්තර කොතෙකුත්
අසා ඇත්තෙමි.ලංකාවේ ඔහු පිළිබඳව ඇති විවිධ ආකල්ප වෙනස් කිරීමට
කිසිවිටක උත්සාහ දැරීමට අදහස් නොකරමි.

ලංකාවේ රතුපාට ඇඳුම් ඇද වේදිකාවල වේගයෙන් කතාකරන
රටට මෙලෝ වැඩක් නැති පුද්ගලයින් සහ ඔවුන්ගේ ක්‍රියා කලාප මේ සඳහා
වගකිවයුතු බව මම සිතමි.මම ලංකාවේ දේශපාලනය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා
කිරීමෙන් සහ මත ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින්නෙකු වන අතර
“චේ” නම් සොඳුරු මිනිසා පිලිබදව නොලියා බැරි නිසා යමක් ලියා තබන්නට උත්සාහ කරමි.

වෙනකක් තියා මීට අවුරුදු හතරකට කලින් ,
එංගලන්තෙට එන්න කලින් ඇඳුම් අස්පස් කරන විට මම පරිස්සමට
අරගෙන යන්න හදපු චේ ටී ෂර්ට් එක උදුරගත්තු අම්මා මට,
පුතේ එංගලන්තේ කියන්නේ ධනවාදී රටක්,
මේක එහෙ ඇන්දොත් සුද්දෝ උඹවත් කුඩුවට දායි ” කිව්වා.

මගේ කාමරේට එන අය “කව්ද මචන් මේ ?“,
ඇයි බන් උඹ මුගේ පෝස්ටරයක් කාමරේ ගහගෙන ඉන්නේ?
යන දේවල් අහන ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස චේ පිළිබඳව සංක්ෂිප්ත සටහන් කිහිපයක් මෙසේ උපුටා තබමි.


ඔහුගේ අවසාන පණිවිඩ :
ඉක්මනින්ම ජයග්‍රාහී විප්ලවයක් ඇමරිකාවෙන් දකින්නට ලැබෙයි පිදෙල්ට කියන්න.
මගේ බිරිඳට නැවත විවාහයක් කරගෙන් සතුටින් ඉඳින්න යයි කියන්න.
මම දන්නවා ඔහෙලා මට වෙඩි තියන්න යන විත්තිය
මම කිසිදවසක පණපිටින් අහුනොවෙන්නයි තිබුනේ.
හරියට ඉලක්කේ අල්ලන්න කියල සොල්දාදුවන්ට කියන්න.

ඔහුගේ අවසාන ඉල්ලීම :
මම කැමතියි බඩ හොඳට පිරිලා තියෙද්දී මැරෙන්න.

ඔහුගේ අවසාන වචන කිහිපය  :
දැනගන්නවා,උඹල මේ යන්නේ මිනිහෙකුව මරන්න.

පිදෙල් කස්ත්‍රෝ සිය විප්ලවවාදී සගයා “චේ” ගැන…

චේ ගේ මුළු ජීවිතය සම විෂය ප්‍රදේශයකදීම පරමාදර්ශී විය.
එසේම ඔහු අසීමාන්තික ලෙස ආධ්‍යාත්මික බැවින් අවංක ස්වකීය
ප්‍රතිපත්ති මත අචලව හුන්,
අනාගතය දෙස විචාරශීලීව බැලු,
අනාගත මානවය දෙස දයාර්ධ හැදින් බැලු,
මානව සංහතියේ අනාගතය දෙස  බැලු,
සියල්ලටම ඉහලින් මනුෂ්‍ය සහ සදාචාරාත්මක වටිනාකම් අගැයු මිනිසෙකු වුවෙහිය.
මේ සියල්ල පරයමින් ඔහු ආත්ම විරහිත බවෙහි,
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තමා සතු සියලු දෑ කැපකෙරු
උතුම් මිනිසෙකුගේ සහ ආත්ම පරිත්‍යාගයෙහි ප්‍රතිමුර්තියක් වුවෙහිය.

මේ වනාහි මා දන සිටි ආත්ම  විරහිතභාවයෙන් අගතැන්පත්
සුවිශේෂී  එමේන්ම උතුම් මිනිසුන් අතලොස්ස අතරින් කෙනෙකි.

අතුරු සබැඳි :

“චේ” පිලිබඳ විකීපීඩියා පිටුව


තාත්තා | a boy’s biggest hero

ඔක්තෝබර් 5, 2010 11 comments

මේ ඊයේ පෙරේදා මග යාලුවෙක් අහන මගෙන්,
“මචන්,උඹ ඇයි උඹ උඹලගේ තාත්ත ගැන කියන කතා
බ්ලොග් එකේ ලියන්නේ නැත්තේ” කියල.
මම කිව්වා “මචන්,තාත්ත ගැන ලියන්න මට එක ලිපියක් මදි,
එකට අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න වෙයි කියල”.

මම හිතන්නේ තමන්ගේ තාත්ත කියන මනුස්සයා තරම්  කොල්ලෙකුට තමන්ගේ ජීවිතයට
බලපාන වෙනත් පුද්ගලයෙකු ඇති කියල.
(තමන්ගේ අම්ම හැරුනාම)

මේ ලඟදි මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැතිවුණා.
ඊට පස්සේ අපේ කට්ටිය අතරේ තමන්ගේ තාත්ත ගැන ලොකු කතා බහක් ඇතිවුනා.
අනිත් අය ගැන මම දන්නේ නැහැ.
මට නම් තාත්ත ගැන තියෙන හැගීම කරුණාරත්න දිවුල්ගනේ ගේ
” අන්දරයායේ ” සින්දුවේ පදවල වගේ.
ඒ තරමට තාත්ත කියන පුද්ගලයා දරුවෙකුට මහා ලොකු කෙනෙක්.

“අන්දරයායේ වැව්තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චිචී
දොලේ දියයි මට
කෙතේ නිලයි
ගහ වැලේ මලයි
මට අප්පච්ච්චී “

සින්දුව මෙතනින් අහන්න

පහල තියෙන ලිපිය අපේ තාත්ත මට කියවපන් කියල එවපු
ෆෝවර්ඩ් මේල් එකක තිබ්බ ලිපියක්.


= නිර්මාණශීලී නිමැවුම =

ඒ හිටපු  ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ,
ජනාධිපති ධුරය ලබා සිය ප්‍රථම කතාව පවත්වන දවසයි.
ඔහු කතාව පැවැත්වීමට වේදිකාවට යන අතරතුර එක අයෙක් මෙසේ පවසන ලදී.

ලින්කන් මහත්තයා,
ඔබ අමතක කරන්න එපා,ඔබේ තාත්ත තමයි අපේ මුළු පවුලටම සපත්තු හැදුවේ …”
මේ  කතාව අහල මුළු සෙනෙට් සභාවම හිනාවුනා.

කට්ටියම හිතුවේ ඒ ගොල්ලෝ ලින්කන්ව මෝඩ ගොඩයෙක්  විදියට
සමච්චලයට ලක් කළා කියල.
නමුත් ඒබ්‍රහම් ලින්කන් කියන්නේ අමුතුම ජාතියේ මිනිහෙක්.
ඔහු අර පුද්ගලයා අමතල මෙහෙම කිව්වා

මහත්මයා ,
මම දන්නවා මගේ තාත්තා ඔබේ පවුලේ සපත්තු හැදුව කියල.
ඔබට විතරක් නෙමෙයි,
මෙතන ඉන්න අය කීප දෙනෙක්ගේ පවුල් වලට සපත්තු හැදුවේ මගේ තාත්තා තමයි.

එකට හේතුව,මගේ තාත්ත සපත්තු විදියට වෙන කාටවත් සපත්තු හදන්න බැහැ.
ඔහු නිර්මාණශීලී පුද්ගලයෙක්.ඔහු හදපු සපත්තු නිකම්ම නිකම් සපත්තු නෙමෙයි.
ඔහු තමන් හදන සපත්තුවකට සිය ආත්මයම මුසුකලා.
මම ඔබේ අහන්න කැමතියි.
ඔබ ඒ සපත්තු පිළිබඳව සැහීමකට පත්වෙනවද?

කිසියම් අඩුපාඩුවක් තියෙනවනම් කියන්න,
මොකද මමත් දන්නවා සපත්තු හදන්න.
මට පුළුවන් ඔබට  අලුත් සපත්තු ජෝඩුවක් හදල දෙන්න.
නමුත් මම දන්නා අද වෙනතුරු මගේ තාත්තගේ සපත්තු ගැන පැමිණිලි ලැබිල නැහැ.

මගේ තාත්තා විශිෂ්ටයෙක්.
විශිෂ්ට නිර්මාණකරුවෙක්.
මට ඔහු ගැන ආඩම්බරයි.

මේ කතාවෙන් පස්සේ,සෙනෙට් සභාවේ දැඩි නිහඬතාවයක් ඇතිවුනා.
ඔවුන්ට ලින්කන් කෙබඳු පුගලයෙක්දැයි
තේරුම්ගන්නට බැරි උනා.


ඔහු සපත්තු හදන රස්සාව නිර්මාණශීලී කලාවක් බවට පත්කර තිබුණි.
ඔහු සිය පියා දැඩි කැපවීමෙන් සාර්ථකව කරගෙන ගිය රැකියාව පිළිබඳව ආඩම්බර විය.

අප කරන්නනේ කුමක්ද යන්න එතරම් වැදගත් වියයුතු නොවේ.
වැදගත් විය යුත්තේ අප එය කරන්නේ කෙසේද යන්නන්යි.
එය කෙරෙහි අපේ  ඇති ආදරය,
එය කිරීම උදෙසා ගොඩනගාගන්න දෘෂ්ඨිය සහ ආකල්ප
යන සියල්ල එකට එකතු වූ විට,
අත තබන සියල්ල “රත්තරන්” බවට පත්වන සුත්‍රය නිර්මාණය වේ.

අතුරු සබැදි :

මේ පිළිබඳව ඉංග්‍රීසි ලිපිය allmalyf.wordpress.com තුලින්


අතුරු සබැදි :
Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers