Archive

Archive for ඔක්තෝබර්, 2012

මම තව වෙන මොනවා කියන්නද?

ඔක්තෝබර් 26, 2012 ප්‍රතිචාර 3ක්

ඔහු කොල්ලෙක්, ඇය කෙල්ලෙක්,

මම තව වෙන මොනවා කියන්නද?

ඔහු රස්තියදුකාරෙයෙක් වගේ, ඇය කුමාරිකාවක් වගේ.

මම තව වෙන මොනවා කියන්නද?

*

ඔහුට ඇයව ඕනේ වුනා,

ඇය කවදාවත් කියන්නේ නම් නැහැ,

එයාටත් රහසින් ඔහුව ඕනෙ තමයි.

ඒ වුනාට එයාගේ යාළුවො ඔක්කොටම,

ඔහු ඇඳුම් අඳින පිළිවෙල ගැන ප්‍රශ්න තිබුනා.

*

ඔහු දඟකාර කොල්ලෙක්,

ඇය ඔහුට “පස්සේ හම්බෙමු ” කිව්වා.

ඔහුව ඇයට හොඳ මදි උනා.

ඇයට ලස්සන මුහුණක් තිබුනා,

ඒ වුනාට අයගේ ඔලුව සෑහෙන උඩින්  තමයි තිබුනේ.

ඇය නැවත පොළොවට ආ යුතුව තිබුනා.

*

අවුරුදු 5 කට පස්ස,

ඇය ගෙදර තනිවම ටී.වී. බලනකොට,

ඔහුගේ ගීතයක් දකිනවා.

ඇය ඇගේ යාලුවන්ට කතා කරනවා.

ඒගොල්ලෝ එතකොටත් දන්නවා.

ඔවුන් ඔහුගේ “ෂෝ”එකට ටිකටුත් අරගෙන.

ඇයත් ඔවුන් සමග පෝලිමේ ඉඳල,

කලකට ඉහත ඉවත දමන ලද ඔහුගේ ගීත අහනවා.

*

සමාවෙන්න කෙල්ලේ,

පරක්කු වැඩියි.ඔහු දැන් මා සතුයි.

අපේ යාළුකම, යාලුකමකට එහාගිය එකක්.

එහෙම තමයි කතාව ඉවර වෙන්නේ.

ඔබට ඔහු තුල සිටි මිනිසා නොපෙනුණු එක අපරාදේ.

ඇහැට පෙනෙන දේට වැඩ ගැඹුරුයි ආත්මය.

*

ඔහු කෙල්ලෙක්, අය කෙල්ලෙක්,

මම තව වෙන මොනවා කියන්නද?

කවුරුවත් කිව්වේ නැද්ද අපි ආදරෙන් වෙලිලා ඉන්න වග.

*

මම ඉන්නේ ඒ රස්තියාදුකාර කොල්ලත් එක්ක,

වේදිකාව පිටුපස.

“ෂෝ” එක ඉවර උනාම,

අපි “ස්ටුඩියෝ” එකට ගිහිල්ල අපි ලියපු සින්දුව පටිගත කරන්නයි යන්නේ.

ඒක ඔහු ඉස්සර ආදරය කරපු කෙල්ලෙක් ගැන.

*

*

= පිදුම =

*

ඇව්රීල් ලැවින්ජ් ගේ ගීත අහන්න පුරුදු කරපු,

එකට කාමරේ හිටපු එකාට.

කාලෙකින් ආපහු පරණ තැටියක් අහුවෙලා,

අහම්බෙන් වගේ අහන්න හම්බුනේ.

* රෝක්

‘ රොක් ‘ සින්දු ‘ රොක් ‘ම තමයි.

ඒවායේ කියන දේවල් රළුයි,සුමට නැහැ.

කෙලින්ම කියනවා.

සුභාෂිතය වගේ

උපමා,උපමේය , උපදෙස් සහ අර්ථ රසය ඉස්මතු කරලා,

” ආනන්දයෙන් ප්‍රඥාව කරා ”

ගෙනයන බවක් කෙලින්ම පෙන්න නැහැ.

ඒක වෙනත් සංස්කෘතියක්.

වෙනස් මානුෂික හැගීම් ඉස්මතු කරන ප්‍රකාශන මාධ්‍යක්.

නමුත් විශ්ව භාෂාවක් නිසා,

රසවිඳින්න බාධාවක් නැහැ.

*

*

| සුදු නෙළුම කෝ, සොරබොර වැවේ….? |

ඔක්තෝබර් 18, 2012 ප්‍රතිචාර 7ක්

*

පෙරවදන.

*

“සහෘදයා” යනු සමාන හදවත් ඇත්තාය.

“දෙවියන් ලෝකය මැව්වා” නම්,

කලාව යනු දෙවියන්ට මවන්න බැරිවී මිනිසාට මැවීමට ඉතිරිකළ දෑය.

මා සිංහලෙන් ලියන බ්ලොග් තුලින් පෙර දිනක හඳුනාගත්,

තවම නොදුටු සහෘදයකු අතින්,

අමරදේව ශුරීන්ගේ මෙතෙක් නොඇසූ ගීයක්,

ඊයේ හෝ පෙරේදා අසන්නට ලැබුණි.

*

මෙයට  අදාළ සිදුවීම නිසා,

ගේය පද රචකයා තුල ඇතිවූ කම්පනය,

ගීයකට පෙරලී,

අමරදේව හඬින් ප්‍රතිනිර්මාණය වීම

සහ

කසුන් චන්දිම හරහා,

එය නැවත මා හට සම්ප්‍රේෂණය වීම,

සහෘද දාමයක් ලෙස දකිමි.

මා අත්විඳින වටිනාම දේ,

මීළඟ සහෘදයාට සම්ප්‍රේෂණය කරවීමට,

ඔහු ලියු සටහන එලෙසම මෙසේ ඉදිරිපත් කරමි.

*

*

උපුටාගනීමකි.

*

සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාළොස්වකේ
මල් නෙළා විකිණු පන්සලේ

*

වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙළූ මල් මිට ලිහී විසිරී
එහා ඉවූරට පාවුණා

*

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල් සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා

*
*
පද : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : පණ්ඩිත අමරදේව
*
රත්න ශ්‍රී විජේසිංහ අති විශිෂ්ඨ කවියෙක් වගේම,
සිංහල ගේයපද රචනයේ නොමැකෙන සලකුණක් තැබූ පතාක යෝධයෙක්…
අපි දන්න කියන විශිෂ්ඨ ගීතයන් රැසක් ඔහු අතින් නිර්මාණය වුනා.
රත්න ශ්‍රී ගේ ගී පද විශිෂ්ඨ වන්නට බලපාපු ප්‍රධානම හේතුවක් තමයි,
ඔහු සිය අත්දැකීම් මත පාදක වෙමින් ගේයපද රචනයේ යෙදීම.
*
රත්න ශ්‍රී විජේසිංහයන් කාලයක් ගුරුවරයෙක් ලෙස සේවය කරලා තියෙනවා.
ඈත දුෂ්කර පළාතක, එතුමා උගන්වපු ඉස්කෝලෙක ඉඳලා තියෙනවා හුඟක් දුප්පත් පුංචි නංගි කෙනෙක්.
කොච්චර දුප්පත්ද කියනවනම්… මේ නංගිට ඉස්කෝලේ අඳින්න තිබිලා තියෙන්නේ එක ගවුමයි.
ඒ ගවුමත් ඉරිච්ච තැන්වලට ආණ්ඩදාලා මහපු පරණ ගවුමක්ලු.
මේ නංගියි එයාගේ ගෙදර අයයි ජිවත්වෙලා තියෙන්නේ පන්සල ලඟ මල් විකුණලා..
ඉතින් ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම මේ පුංචි නංගියත් පන්සල ළඟට ගිහින් මල් විකුණනවා..
එක දවසක් මේ පුංචි නංගියා ඉස්කෝලේ ආවේ නැහැ…
ඉස්කෝලේ ඇරිලා යනකොට රත්න ශ්‍රී දැකලා තියෙනවා මේ නංගිලාගේ ගෙදර සුදු කොඩි දාලා තියෙනවා..
වැවේ මල් කඩන්න ගිය පුංචි නංගියා ආපහු ගෙදර ඇවිත් තියෙන්නේ ලී වලින් හදපු පෙට්ටියක…
හැමදාම ඉස්කෝලේ ඇඳපු ආණ්ඩදාපු එකම එක සුදු ගවුමත් ඇඳගෙන…
පුංචි සුදු නෙළුම් මල ලි පෙට්ටියේ නිදාගෙන ඉඳලා තියෙනවා….
*
මේක මේ සින්දුව අහපු හැමෝම දන්නා කතාවක්…
මේ කතාව අහපු මුල්ම දවසේ මගේ ඇස්වලට උනපු කඳුළු,
මේ සින්දුව අහන අහන හැම වෙලාවකදීම වගේ අළුත් වෙනවා…
*
ඔව්..
ජිවත් වෙන්න ජීවීතය පරදුවට තියන රටක…..
තුන් වේල කන්නේ නැතුව ලෙවකන මිනිස්සු ඉන්න රටක….
මාසෙකට තුන් හාරදාහක් නෙට් එකට වියදම් කරන එකෙක්ටත්.. දුක හිතෙනවා///

*

රාජ්‍යය සේවය පිණිසයි! | on state service!

ඔක්තෝබර් 15, 2012 ප්‍රතිචාර 5ක්

*

බෙරපදේ තාල මත්තට නෑසේද
සීපදේ හවස් ජාමෙට ගොලුවේද
සකිසඳේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද

*

කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
පේනතෙක් මානයෙන් ඈතට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූනවත් බලාගන්නට බැරිවෙයිද

*

දුලා දිමුතු මුතු හර පලඳින කලට
වළාකුලක සේලේ ගතලන කලක
සලා සිමර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට

*

ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
මලක් කඩා ගත්තොත් පරවෙනවාය
රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය

*

රජ අණක් වෙතොත් බෑ හැංගිල ඉන්ට
හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
මට ඉඩක් ලැබීයං ආපසු එන්ට

*

*

සෑහෙන්න කාලෙකට කලින් ‘අන්දරේලා’ නාට්‍යය ලයනල් වෙන්ඩ්ට් එකේ බැලුවට පස්සේ මේ සින්දුව එහෙ මෙහෙ හොයල බැලුවේ එක හිතට වැදිච්ච හින්ද.රාජ්‍යය සේවය යනු අද නම් පවතින රජයට සේවය කිරීමයි. මේක කෙසේ කොහොම උපරිම සද් භාවෙන් කලත් ‘ලේබල්’ වදින එක ඒ කාලෙත් නවත්තන්න බැහැ, අදත් බැහැ.

*

මේ නාට්‍යය මුලින්ම නිර්මාණය වෙච්ච අරමුණට වඩා අද රට වෙනස්.ඒ කාලේ රජයට වඩා අද රජය සාපේක්ෂව වෙනස්. ඒ කලේ අන්දරේට හිනාවුනේ වෙන හේතුවකට.අද හිනා වෙන්නේ වෙන වෙන හේතු වලට.

අන්දරේ චරිතයෙන් මතුවන සංකීර්ණ රාජ්‍යය සේවකයන්ගේ පෞරුෂය, ගැටළු සහ ආධ්‍යාත්මය කවුරුවත් වටහාගත්තයි කියල මම හිතන්නේ නැහැ.මොකද? ඒ තරමට “වෙන කෙනෙක්ගේ සපත්තු වලට බැහැල හිතන්න පුළුවන්” පුද්ගලයෝ හරි අඩුයි.හිතන්න පුළුවන් අයට වෙලාවක් නැහැ.

නැත්තන් රාජ්‍යය සේවකයෙක්ම වෙන්න ඕනේ.

කන්නාඩි දාගත්තම පෙනෙන විදිය හරි වෙනස්.කන්නාඩියේ පාටට බරව තම පෙනෙන්නේ.

මුහුකුරා යන්න යන්න පාට පාට කන්නාඩි නැතුව ඇති දේ ඇති සැටියෙන් දකින්න, දීර්ගකාලීන මතකයන් සහිතව ජීවත් වෙන්න පුළුවන් වෙනවා.එහෙම සමහරකට තමන් චන්දය නොදුන් රජයක් මගින් තම රටට අවශ්‍ය සේවය ලබාගැනීමට පුළුවන්.

මේ ගීතය සහ නාට්‍යය ගැන විස්තර මෙතනින් කියවන්න.

*

මේ ලඟදි සංකීර්ණ සත්‍ය ගැබ්වුණු ෆොටෝ 2,3 ක් දැක්කා.

මෝඩයෙක් වගේ තමන්ගේ රටට බනින එක නවත්තල දාපන්.

උඹ උඹේ කොටස හරියට කරපන්.

උඹයි උඹේ රටයි කියන, දෙකම එකයි!

*

ඔබට ඔබේ රජයට ආදරය නොකර,

ඔබේ රටට ආදරය කල හැක.

*

මේවා දැක්කම අපේ තාරුණ්‍යය ‘මෝඩ ජෝක් කොමෙන්ට්’ දානවා,

මිස විනාඩියක් කල්පනා කරන්න තරම් මහන්සි වෙන්නේ නැහැ.

කවදා හරි රටේ බහුතරය ‘ගොසිප් ලංකා එකේ කොමෙන්ට් දාන අය’ වගේ,

වෙච්ච දාට ලංකාවෙන් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

මේ මට ඊයේ පෙරේදා එක්තරා රාජ්‍ය සේවකයෙකුගෙන් රාජ්‍යය සේවය පිළිබඳව ලැබුණු අර්ථකතනයක්.

*

මේ ඉන්න ටිකේ,

තියෙන ආණ්ඩුවකට හේත්තුවෙලා,

කීයක්‌ හරි වැඩිපුර හම්බවෙන විදිහක් බලාගන්නේ නැතුව,

මොන කෙහෙල්මලක් කරන්ඩද බං?

*

*

    

*

රාජ්‍යය සේවය එක්තරා ආකාරයකට පිස්සුවක්.

ඇත්ත කතාව!
එක එකා යුද්දෙට ගිහින් අපි වෙනුවෙන් මැරෙනකොට වචනයක් නොකියපු එවුන්,

දැන් යාපනේ ගිහිල්ල ෆේස්බුක් ෆොටෝස් දානවා.
රටට ආදරේ එකා කොහොමත් ආදරෙයි,නැති එකා නැහැ.
ඔන්න ඕකයි ඇත්ත කතාව.

මේ අතරේ දහසකුත් එකක් ආර්ථික, පෞද්ගලික ප්‍රශ්න අස්සේ,

කැපවීමෙන් තම සේවය නොපිරිහෙලා ඉටුකරන්න,

එක්තරා ආකාරයක පිස්සුවක් තියෙන්නේ ඕනේ තමයි.

රාජ්‍යසේවය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් ඉදිරිපත්කෙරෙන ‘අභිමාන’ වෙළඳ දැන්වීම සඳහා යොදා ඇති නෙලුම් මල දැන හෝ නොදැන රාජ්‍යය සේවය එක රූප රාමුවකින් ගෙනහැර දක්වයි. පොහොසත් රටවල ආධිපත්‍ය, දේශපාලන බලපෑම්, අදුරදර්ශී ආර්ථික පිළවෙත්, වංචාව, දුෂණය සහ නිලධාරීවාදය ඇතුළු මඩ ගොහොරුවේ පිපී, මඩ ගොහොරුවෙන් ඉහලට එසවී තමා උපන් මවුබිමට සහ ජනතාවට සේවයක් ඉටුකරන ඉතා අතලොස්සක් වූ රාජ්‍යය සේවකයින් එමගින් විදහා දක්වා ඇත.

*

පිදුම

උදේ හවස මේ මාරාන්තික සුනාමිවලට මුහුණ දෙමින්,
තමන්ගේ බෙල්ලත් බේරාගෙන,
රටේ අහිංසක මිනිහෙක්ට හෙට දවසක් ඉතිරි කරන්න දඟලන ,
අතලොස්සක්වූ ශ්‍රී ලාංකික රාජ්‍යය සේවකයින්ට!

*