Archive

Archive for නොවැම්බර්, 2012

” හක්කපටස් “

නොවැම්බර් 13, 2012 ප්‍රතිචාර 9ක්

*

තුඹසක් හදයි වේයෙක් හරි වෙලාවට

කව්රුත් නොමැත මට වැරදුන වෙලාවට.

*

= සටහන =

*

ඉහත උපුටා දක්වා ඇත්තේ කතෘ අඥාත “ඛනිජ තෙල් කවියකි.”

*

ජනකවි යනු ජනතාව තුලින් මතුවූ ජනතාවගේ හද ගැස්මයි.

එය කලකට පෙර ලංකාවේ කරත්ත කවි,පතල් කවි, නෙලුම් කවි ලෙස වර්ග වෙන අතර,

වර්ගවාදයෙන් බැට කෑ අප්‍රිකානු වහල් සමාජයේ “රැප්” ලෙස උපත ලැබීය.

ජනකවි බොහෝවිට තම රැකියාවේ ස්වභාවය මත පදනම වූ අතර,

රැකියාවෙහි දුක ගැහැට මින් ප්‍රධාන විය.

*

හක්ක පටස් යනු,

ඌරන් ඇල්ලීම සඳහා ජනතාව විසින් හක්ක පටස් යොදා ගන්නා උගුලකි.

එම හක්ක පටස් අහාරයට ගන්න ඌරන්ගේ හක්ක තුල ඒවා පිපිරී යාමෙන් උන් මියයයි.

හක්ක පටස්වලින් සිදුවූ “අලි මරණ” ගැන පුවතක්  මෙතනින් කියවන්න.

*

“ඛනිජ තෙල්” ආශ්‍රිත රැකියාද එක පැත්තකින් හක්ක පටස් හා සමානය.

දිරිදීමනා, ඉහල අතිකාල සහ ඉහල වැටුප් තල පිරිනමන තෙල් රස්සාව,

සුවදැති හක්කපටස් මෙන් “මරණීය අවධානමක්”  සඟවාගෙන සිටියි.

කොයි මොහොතේ “කට ඇතුලේ පුපුරයිද?” යන අවධානම ගැබ්වී ඇත.

තමන් අතින් සිදුවන සුළු වැරැද්දට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවිය හැක.

අනෙක් රටවල වසර දහයක සේවයෙන් පසු අනිවාර්යයෙන් ඛනිජ තෙල් සේවකයන්

විශ්‍රාම යවනු ලබයි. එතරම්ම වූ අවධානමක් එහි ගැබ්ව ඇත.

*

ඛනිජ තෙල් රැගත් “දුම්රිය භෝගියක” ලියන ලද පෙර කී තෙල් කවියෙහි,

හක්කපටස් යනු කවියේ මාතෘකාවද ? රචකයාගේ අන්වර්ථ නමද?යන්න පැහැදිලි නැත.

සීගිරි කැටපත් පවුරේ කවි ලියුවන් මෙන්,

වචන දහයකින් තම ජීවිත කතාව “දුම්රිය භෝගියක්”,

සිය ප්‍රකාශන මාධ්‍යය කරගනිමින්,

ජීවන අත්දැකීම් මගින් ලද දාර්ශනිකත්වය

ලොවට පෙන්වීමට මෙහි  කතුවරයා සමත්ව ඇත.

*