Archive

Archive for the ‘මේ දවස් වල අහන සින්දු’ Category

මෙයට වඩා හොඳ මිනිසෙකු වීමට | “Better Man”

පෙබරවාරි 16, 2015 ප්‍රතිචාර 3ක්
හිමවැටෙන රැයක, 
තට්ට තනියම,
කින්ග්ස්බරි හන්දියේ කාමරයේ,
ජනේලය අසලදීය.

 

 

මා හට ආදරය කරන්න කෙනෙක් මා වෙත එවන්න

කඩ හැලෙන මහා වැස්සෙන් මා බේරාගෙන

ඇයගේ තුරුලේ විවේක ගැනීමට මට අවශ්‍යයි. 

දෙවියනි,

මට නිමක් නැති ගිම්හානය ලබාදෙන්න.

මට දරුණු ලෙස සීතලට බියවෙමි.

මම මගේ වයසට වඩා මහලු වී ඇති බව හැගේ.




මගේ ආත්මයට ලැජ්ජාව,පසුතැවිල්ල හොඳින් දැනේ.

මම කෙසේ හෝ මෙම වේදනාව අතරින් නැගී සිටිමි.

මම මෙයට වඩා හොඳ මිනිසෙකු වීමට

මට කළහැකි සියලු දේ කරමි.

මගේ ප්‍රතිපත්ති කෙරෙහි සෞම්‍යය ලෙස ක්‍රියා කරන්න.

එය මගේ වරද නොවේ.

මට උගන්වා ඇත්තේ වරදක් කලවිට එය පිළිගන්නා ලෙසටයි.

 

අනෙක් දේවලින් කම් නැත.

සුරදුතයන් මගේ කඳුළු අහුලාගෙන මා මෙතනින් ගෙනයනු ඇත.

මා සිටින්නේ වේදනාවෙනි.


මගේ ආත්මයට ලැජ්ජාව,පසුතැවිල්ල හොඳින් දැනේ.

මම කෙසේ හෝ මෙම වේදනාව අතරින් නැගී සිටිමි.

මම මෙයට වඩා හොඳ මිනිසෙකු වීමට

මට කළහැකි සියලු දේ කරමි.



ඔබට ඔබේ ආදරය  මුණගැසුණු විට,

පවුල , නිවහන කෙරෙහි වඩාත් සමීප වෙයි.

ආදරය සෑම අතකම දිස්වන්නට ගනී.

 

සමහරුන් නැවත ගොඩගත නොහැකිලෙස

ගල් පිරුණු පොලවට ඇදවැටී ඇත.

නමුත් ආදරය සෑම තැනකම ඇත.

 

 

 

Advertisements

දෛවයේ සරදම | Irony

1

ඊයේ පෙරේදා දෙවෙනි හෝ තෙවන වතාවට “INTERNSHIP” චිත්‍රපටිය නැරඹුවෙමි. එය වෙලාවකට මගේ ජීවිතය වගේය. කෑල්ලක් දෙකක් ස්ටීව් ජොබ්ස් වගේ IT කාරයෝ දෙතුන් දෙනෙකුගේ ජීවිත වැනිය. මගේ අදහස සියලුම IT උපාධිකාරයෝ, අපේක්ෂකයෝ, උණකාරයෝ එය අනිවා නැරඹිය යුතුය.

(විශේෂයෙන් පිටරටවල කුකුල්මස් කඩ, පෙට්‍රල් ෂෙඩ්  සහ සුපර්මාර්කට් වල වැඩකරන ගමන් ඉගෙන ගන්න අය )

සැලකිය යුතුයි : වැඩිහිටියන්ට පමණයි දර්ශණ අඩංගු විනාඩි 2-3 ක් ඇත.

Google ආයතනය සම්බන්ධිත මෙම චිත්‍රපටිය එතරම්ම මාර ගතිය.කොටින්ම මේ ටයිප් කරන සිංහලද Google වලට පිං සිද්ධ වෙන්නටය.

1

 1

චිත්‍රපටිය ගැන තව ලියන්න වෙලාව තිබ්බ නම් මරුය.

ඒ ඉස්සරය.

දැන් මචං එහෙම බෑනේ ……! ඒ කතාව මෙතනින්.

  1

චිත්‍රපටිය පටන් ගන්න කලින් ප්‍රධාන චරිත දෙක කාර් එකේ අහගෙන යන සින්දුව ගැන නිකන් ලියන්න හිතුනා.

මේක කලින් අහල තිබුනාට මම හිතුවේ මම විතරයි ඒ වගේ චාටර් සින්දු අහන්නේ කියලා.

බලනකොට ෆිල්ම් වලත් යනවා.

අලානිස් මොරිසෙට් ගේ මම දන්නා එකම සින්දුවත් මේක තමා.

  1

“අපි ඉතින් පොල් ගහකට නැග්ගොත්, ඒකෙත් දෙබලක් ”.

මේ කතාව අනන්තවත් අහල පුරුදු ඇතිනේ. අහල නෙමෙයි කියලත් පුරුදු ඇතිනේ.

කතාව ඇත්ත. අත්දැකීමෙන් කියන්නත් පුළුවන් ඇතිනේ.

  1

ඉඳල ඉඳල ජීවිතේ පලවෙනි පාරට ගිය අවුරුද්දේ රත්තරන් බඩු ගත්ත කියපන්කො.

මෙන්න යකෝ ඊට පස්සේ, අවුරුදු 30-40 කට පස්සේ වාර්තාගත ලෙස රත්තරන් මිල පහල ගියා.

(හෙන ගහපන් _ _  ජුවෙලර්ස් !!! )

  1

කොටින්ම මේ ලඟදි අපේ ඔෆිස් එකේ, මගේ යාලු මිත්‍රයෙක් ජපානෙන් කාර් එකක් ගෙන්නන්න සල්ලි බැන්දා.

හෙන ගහනවා! ඊට පස්සේ යෙන් එකේ රුපියල් අගය අම්බානක බැස්සා කියපන්කො!

වැඩේ අම්බ පාඩුයි.

 1

ඕව ඔහොම තමයි.

හුඟක් අය හිතන්නේ එක තමන්ට විතරයි කියලා.

ඒක එහෙම නැහැ.

  1

1

වයස්ගත පුද්ගලයෙක් අනූ අට විය සපුරන දින,

ලොතරැයි ජයක් ලබයි.

පසු දින මිය යයි.

මධුවිතෙහි ගිලෙන්නට යන මැස්සා අතින් ඉවත් කරන චූදිතයාට

මිනිත්තු දෙකකින්, තමාට මරණ දඬුවමට සමාව ලැබුණ බව අසන්නට ලැබෙයි.

මෙය දෛවයේ සරදමකි …! ඔබට නොසිතේද?

 1

එය ඔබගේ විවාහය දින වහින මහා වැස්ස මෙනි.

එය සියල්ලන් හට නොමිලේ ලැබෙන චාරිකාවකි. එහෙත් ඔබ දැනටමත් මුදල් ගෙවා අවසන් ය.

එය ඔබ පිලි නොපැදු අවවාදයක් මෙනි.

එය මෙලෙස ගැලපේ යයි කවදා සිතුනිද?

  1

අතිශය සුපරික්ෂාකාරී පුද්ගලයා ගුවන්,

ගමන් වලට බිය අයෙක් විය.

ඔහු සිය ගමන්මලු ලෑස්ති කර බිරිඳ දරුවන් හිස සිඹ,

ජීවිත කාලයක් නොගිය ගුවන් යානයට ගොඩවිය.

අනපේක්ෂිතව එය බිමට කඩාවැටෙන විට ඔහු සතුටින් සිටිනු දක්නට ලැබුණි.

මෙය දෛවයේ සරදමකි …! ඔබට නොසිතේද?

  1

ඔබ සියල්ල හොඳින් සිදුවේයැයි සිතත්ම,

සියල්ල හරි පාරේ යන බව සිතත්ම

ජීවිතය එක්තරා විහිලු සහගත ආකාරයකට ඔබ පිටුපසින් පැමිණ බාධා ඇතිකරයි.

  1

එලෙසම ඔබ සියල්ල තමාට එරෙහිවන බව සිතෙන විට,

කරන සියල්ල වරදින බව පෙනෙනවිට

ජීවිතය ඔබ නොසිතූ ලෙස පැමිණ ඔබට පිහිට වෙයි.

  1

එය ඔබ හොඳටම පමාවී සිටින විට මුහුණ දෙන වාහන තදබදය මෙනි.

එය ඔබ දුම් පානයට සූදානම් වන විට තමා ඉදිරියේ ඇති “දුම් බීම තහනම්” පුවරුව මෙනි.

එය හැඳි දහදාහක් තිබුනද ඔබට උවමනා කරන පිහියක් සොයාගැනීමට නොහැකිවීම වැනිය.

එය ඔබ මුලුසිතින්ම ප්‍රාර්ථනා කල පුද්ගලයා අවසානයේදී මුණගැසීම

සහ

ඉන්පසුව  ඔහුගේ සුරූපී බිරිඳ හෝ කඩවසම් ස්වාමිපුරුෂයා මුණගැසීමය.

මෙය දෛවයේ සරදමකි …! ඔබට නොසිතේද?

  1

1

” දැන් මචං එහෙම බෑනේ, පවුල් වෙලා මං !”

සැප්තැම්බර් 1, 2013 ප්‍රතිචාර 6ක්

b111

කොවුලා වගේ  “ලව් “ සින්දුම කියපු එකා මං

වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං

හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං

පවුල බනී ලේට් උනොත් ගිහින් එන්නද මං

b

මුට්ටිය ඉවර කෙරුවේ ගහ මුලදීම මං

බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං

රෑ-දවල් ගතවුනාම සැලකුවේ නෑ මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං

නිවාඩු නැත්තංමෙඩිකල් දාපු එකා මං

ඕවර්ටයිම් කිසි දවසක කරලම නෑ මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං

ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං

සීන් එකේ කොහේ බැලුවත් පෙනුන එකා මං

දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

b

එම්.එස්.ප්‍රනාන්දු ලාංකික සිංහල ගීතය පෝෂණය කල දැවැන්ත ප්‍රබුද්ධ ගායකයෙක්. (වැරදිලා නෙමයි ලිව්වේ, “ප්‍රබුද්ධ” තමයි වචනෙ) සමහරවිට ඔහුවත් ඔහුගේ වටිනාකම දැනගෙන හිටියද දන්නේ නැහැ.ඒ වුනාට ජෝතිපාල කොහෙද ඉන්නෙ,පේනතෙක් මානෙක ඔහු ඉන්නවා.එම්.එස්.ප්‍රනාන්දුගේ දේශපාලනික සම්බන්ධතා ගැන මම කියන්න වැඩියමක් දන්නේ නැහැ.ඒවා ඔහු ජීවත් වෙච්ච කාලේ හැටියට (ජීවිතේ හොඳම කාලේ 70-90 දශක) බොහොම සාමාන්‍ය දේවල්.නමුත් ඔහු මිනිසුන්ගේ සිතුම් පැතුම් ටක්කෙටම හදුනාගත්ත ගායකයෙක්.අනිත් එක එක ප්‍රේමය,ආදරය වගේ ජනප්‍රිය මාතෘකා හැර ඉතාම සංකීර්ණ මානුෂික සිතුම් පැතුම් ඉතාම සරල සමහර විට රළු වචන සහ සංකීර්ණ නොවන “බයිලා ” සංගීතය සමග මිනිස්සුන්ට දීම ලේසි පාසු වැඩක් නෙමෙයි.

මීට කලින් ලාංකික සංගීතය ගැන ලියපු  ලිපිය මෙතනින් කියවන්න.

පහුගිය දවස් වල දවසක් හැර දවසක් එක්කෝ වේඩින් එකක් නැත්තං හෝම් කමින්ග් එකක්.වෙලාවකට මගුල් සක්වලක් වගේ. ඊයේ පෙරේදා මගේ හොඳම යාලුවත් ඔන්න බැන්දා.පොරගේ වෙඩින් එකේ පොරගේ සහෝදර සහෝදරී පරම්පරාව  තියෙන සින්දුවට “දොඹ හැලෙන්න” ඩාන්ස් එකක් දුන්න.

B

MS+Fernando+0

B

***  “දොඹ හැලෙන්න” යනු මගේ පාරිභාෂික ශබ්දකෝෂයේ පමණක් හමුවන වචනයක් විය හැකියි. අපේ නිට්ටඹුවේ ගමේ ගෙ ඉස්සරහ දොඹ ගහක් තියෙනවා. කොචචර වැස්සත් ඒකේ දොඹ ගෙඩි හැලෙන තරමට වහල තියෙන්නේ පහුගිය  අවුරුදු විසිපහටම දෙතුන් වතාවක් විතරයි.දොඹ හැලෙනවා කියන්න “පිස්සු හැදෙන / කොරවෙන / පට්ට ” සීන් එකකි.

අපේ සමාජයේ පිරිමියෙක්/කොල්ලෙක් විවාහ ජීවිතයට ඇතුළුවීම සම්බන්ධයෙන් ඔහුගේ  “ රස්සාව/ගෙයක් දොරක් තියෙනවද/ඉගෙනීම/කාර් එකක් තියෙනවද ? ” ආදිය හැර, කිසිම ලෙසකින් ඔහුගේ මානසික මට්ටම සහ ඔහුට ඉදිරියට මුහුණ පාන්න වෙන පරිවර්තනය ගැන විහිළුවටවත් කතා වෙලා නැහැ.

මේක බහුතරයක් කොල්ලෝ සෙට් එකට, බොහොම සාමාන්‍ය දෙයක් උනාට “සීන් එකේ කොහේ බැලුවත් හිටපු” කට්ටියට අවුල් වැඩක්.මොකද බදින්න කලින් මොන සිංහනාද කලත් බැන්දට පස්සේ සිංහ නාද, බලු කෙදිරිලි වෙන හින්දා.( අපි එහෙම වෙන්නේ නැහැ කියල කිව්වට මල්ලි,ඔයාට වඩා ලොකු සිංහයෝ දන ගහල තණකොළ කනවා අපි දැකල තියෙනවා. )

ගීතයේ ගොඩක් දේවල් පැහැදිලියි.අමුතුවෙන් කියන්න දෙයක් නැති තරං.රජයේ සංස්ථාවක ජොබ් එකක් කියන්නේ එම්.එස්.ප්‍රනන්දුලගේ කාලේ නං ඉතින් ලංකාවේ සුපිරිම රස්සාවක්.දැන් එහෙම නැහැ.ඒක හින්ද තමයි “ඩෝන්ට් කෙයාර්” පිට සුද්ද වගේ ඉන්න පුළුවන්වෙලා තියෙන්නේ.සංස්ථා වල ඕනේ කොච්චර නිවාඩු දැම්මත් කවුරුවත් “ලෙඩ නිවාඩු ” ලේසියෙන් දානේ නැහැ.ඒ මොකද මෙඩිකල් ලීව් ගත්තේ නැති උනාම එකට මෙඩිකල් බෝනස් එකක් ගෙවනවා.

බදින්න කලින් මේ තරුණයා ඒකටත් පයින් ගහල් සෙට්වෙන්න ඕනේ උනාම නිවාඩු ඉවර නං,බෝනස් එපා කියල ලීව් දාල, යාළුවො එක්ක සෙට්වෙච්ච පොරක්. ඒ තරමට අතේ සල්ලි ඉතුරුවෙච්ච ගවසිච්ච පොරක්.අනේ බැන්දට පස්සේ ඕවර් ටයිම් කරලා තව කීයක් හරි හොයාගන්න ලෙවල් එකට මේ තරුණයාව වැටෙනවා.

ඉස්සරහට අනාගතේ පෙනෙන / නැත්තං දැනටම වර්තමානේ අත්දකින , ඉස්සර  “සීන් එකේ කොහේ බැලුවත් පෙනුන” හැම එකාටම හරියන පට්ටම සින්දුවක්.අවාසනාවකට එම්.එස්.මේක ගයන වීඩියෝ එකක් හොයාගන්න නැහැ.

B

B

මම තව වෙන මොනවා කියන්නද?

ඔක්තෝබර් 26, 2012 ප්‍රතිචාර 3ක්

ඔහු කොල්ලෙක්, ඇය කෙල්ලෙක්,

මම තව වෙන මොනවා කියන්නද?

ඔහු රස්තියදුකාරෙයෙක් වගේ, ඇය කුමාරිකාවක් වගේ.

මම තව වෙන මොනවා කියන්නද?

*

ඔහුට ඇයව ඕනේ වුනා,

ඇය කවදාවත් කියන්නේ නම් නැහැ,

එයාටත් රහසින් ඔහුව ඕනෙ තමයි.

ඒ වුනාට එයාගේ යාළුවො ඔක්කොටම,

ඔහු ඇඳුම් අඳින පිළිවෙල ගැන ප්‍රශ්න තිබුනා.

*

ඔහු දඟකාර කොල්ලෙක්,

ඇය ඔහුට “පස්සේ හම්බෙමු ” කිව්වා.

ඔහුව ඇයට හොඳ මදි උනා.

ඇයට ලස්සන මුහුණක් තිබුනා,

ඒ වුනාට අයගේ ඔලුව සෑහෙන උඩින්  තමයි තිබුනේ.

ඇය නැවත පොළොවට ආ යුතුව තිබුනා.

*

අවුරුදු 5 කට පස්ස,

ඇය ගෙදර තනිවම ටී.වී. බලනකොට,

ඔහුගේ ගීතයක් දකිනවා.

ඇය ඇගේ යාලුවන්ට කතා කරනවා.

ඒගොල්ලෝ එතකොටත් දන්නවා.

ඔවුන් ඔහුගේ “ෂෝ”එකට ටිකටුත් අරගෙන.

ඇයත් ඔවුන් සමග පෝලිමේ ඉඳල,

කලකට ඉහත ඉවත දමන ලද ඔහුගේ ගීත අහනවා.

*

සමාවෙන්න කෙල්ලේ,

පරක්කු වැඩියි.ඔහු දැන් මා සතුයි.

අපේ යාළුකම, යාලුකමකට එහාගිය එකක්.

එහෙම තමයි කතාව ඉවර වෙන්නේ.

ඔබට ඔහු තුල සිටි මිනිසා නොපෙනුණු එක අපරාදේ.

ඇහැට පෙනෙන දේට වැඩ ගැඹුරුයි ආත්මය.

*

ඔහු කෙල්ලෙක්, අය කෙල්ලෙක්,

මම තව වෙන මොනවා කියන්නද?

කවුරුවත් කිව්වේ නැද්ද අපි ආදරෙන් වෙලිලා ඉන්න වග.

*

මම ඉන්නේ ඒ රස්තියාදුකාර කොල්ලත් එක්ක,

වේදිකාව පිටුපස.

“ෂෝ” එක ඉවර උනාම,

අපි “ස්ටුඩියෝ” එකට ගිහිල්ල අපි ලියපු සින්දුව පටිගත කරන්නයි යන්නේ.

ඒක ඔහු ඉස්සර ආදරය කරපු කෙල්ලෙක් ගැන.

*

*

= පිදුම =

*

ඇව්රීල් ලැවින්ජ් ගේ ගීත අහන්න පුරුදු කරපු,

එකට කාමරේ හිටපු එකාට.

කාලෙකින් ආපහු පරණ තැටියක් අහුවෙලා,

අහම්බෙන් වගේ අහන්න හම්බුනේ.

* රෝක්

‘ රොක් ‘ සින්දු ‘ රොක් ‘ම තමයි.

ඒවායේ කියන දේවල් රළුයි,සුමට නැහැ.

කෙලින්ම කියනවා.

සුභාෂිතය වගේ

උපමා,උපමේය , උපදෙස් සහ අර්ථ රසය ඉස්මතු කරලා,

” ආනන්දයෙන් ප්‍රඥාව කරා ”

ගෙනයන බවක් කෙලින්ම පෙන්න නැහැ.

ඒක වෙනත් සංස්කෘතියක්.

වෙනස් මානුෂික හැගීම් ඉස්මතු කරන ප්‍රකාශන මාධ්‍යක්.

නමුත් විශ්ව භාෂාවක් නිසා,

රසවිඳින්න බාධාවක් නැහැ.

*

*

| සුදු නෙළුම කෝ, සොරබොර වැවේ….? |

ඔක්තෝබර් 18, 2012 ප්‍රතිචාර 7ක්

*

පෙරවදන.

*

“සහෘදයා” යනු සමාන හදවත් ඇත්තාය.

“දෙවියන් ලෝකය මැව්වා” නම්,

කලාව යනු දෙවියන්ට මවන්න බැරිවී මිනිසාට මැවීමට ඉතිරිකළ දෑය.

මා සිංහලෙන් ලියන බ්ලොග් තුලින් පෙර දිනක හඳුනාගත්,

තවම නොදුටු සහෘදයකු අතින්,

අමරදේව ශුරීන්ගේ මෙතෙක් නොඇසූ ගීයක්,

ඊයේ හෝ පෙරේදා අසන්නට ලැබුණි.

*

මෙයට  අදාළ සිදුවීම නිසා,

ගේය පද රචකයා තුල ඇතිවූ කම්පනය,

ගීයකට පෙරලී,

අමරදේව හඬින් ප්‍රතිනිර්මාණය වීම

සහ

කසුන් චන්දිම හරහා,

එය නැවත මා හට සම්ප්‍රේෂණය වීම,

සහෘද දාමයක් ලෙස දකිමි.

මා අත්විඳින වටිනාම දේ,

මීළඟ සහෘදයාට සම්ප්‍රේෂණය කරවීමට,

ඔහු ලියු සටහන එලෙසම මෙසේ ඉදිරිපත් කරමි.

*

*

උපුටාගනීමකි.

*

සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාළොස්වකේ
මල් නෙළා විකිණු පන්සලේ

*

වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙළූ මල් මිට ලිහී විසිරී
එහා ඉවූරට පාවුණා

*

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල් සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා

*
*
පද : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : පණ්ඩිත අමරදේව
*
රත්න ශ්‍රී විජේසිංහ අති විශිෂ්ඨ කවියෙක් වගේම,
සිංහල ගේයපද රචනයේ නොමැකෙන සලකුණක් තැබූ පතාක යෝධයෙක්…
අපි දන්න කියන විශිෂ්ඨ ගීතයන් රැසක් ඔහු අතින් නිර්මාණය වුනා.
රත්න ශ්‍රී ගේ ගී පද විශිෂ්ඨ වන්නට බලපාපු ප්‍රධානම හේතුවක් තමයි,
ඔහු සිය අත්දැකීම් මත පාදක වෙමින් ගේයපද රචනයේ යෙදීම.
*
රත්න ශ්‍රී විජේසිංහයන් කාලයක් ගුරුවරයෙක් ලෙස සේවය කරලා තියෙනවා.
ඈත දුෂ්කර පළාතක, එතුමා උගන්වපු ඉස්කෝලෙක ඉඳලා තියෙනවා හුඟක් දුප්පත් පුංචි නංගි කෙනෙක්.
කොච්චර දුප්පත්ද කියනවනම්… මේ නංගිට ඉස්කෝලේ අඳින්න තිබිලා තියෙන්නේ එක ගවුමයි.
ඒ ගවුමත් ඉරිච්ච තැන්වලට ආණ්ඩදාලා මහපු පරණ ගවුමක්ලු.
මේ නංගියි එයාගේ ගෙදර අයයි ජිවත්වෙලා තියෙන්නේ පන්සල ලඟ මල් විකුණලා..
ඉතින් ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම මේ පුංචි නංගියත් පන්සල ළඟට ගිහින් මල් විකුණනවා..
එක දවසක් මේ පුංචි නංගියා ඉස්කෝලේ ආවේ නැහැ…
ඉස්කෝලේ ඇරිලා යනකොට රත්න ශ්‍රී දැකලා තියෙනවා මේ නංගිලාගේ ගෙදර සුදු කොඩි දාලා තියෙනවා..
වැවේ මල් කඩන්න ගිය පුංචි නංගියා ආපහු ගෙදර ඇවිත් තියෙන්නේ ලී වලින් හදපු පෙට්ටියක…
හැමදාම ඉස්කෝලේ ඇඳපු ආණ්ඩදාපු එකම එක සුදු ගවුමත් ඇඳගෙන…
පුංචි සුදු නෙළුම් මල ලි පෙට්ටියේ නිදාගෙන ඉඳලා තියෙනවා….
*
මේක මේ සින්දුව අහපු හැමෝම දන්නා කතාවක්…
මේ කතාව අහපු මුල්ම දවසේ මගේ ඇස්වලට උනපු කඳුළු,
මේ සින්දුව අහන අහන හැම වෙලාවකදීම වගේ අළුත් වෙනවා…
*
ඔව්..
ජිවත් වෙන්න ජීවීතය පරදුවට තියන රටක…..
තුන් වේල කන්නේ නැතුව ලෙවකන මිනිස්සු ඉන්න රටක….
මාසෙකට තුන් හාරදාහක් නෙට් එකට වියදම් කරන එකෙක්ටත්.. දුක හිතෙනවා///

*

රාජ්‍යය සේවය පිණිසයි! | on state service!

ඔක්තෝබර් 15, 2012 ප්‍රතිචාර 5ක්

*

බෙරපදේ තාල මත්තට නෑසේද
සීපදේ හවස් ජාමෙට ගොලුවේද
සකිසඳේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද

*

කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
පේනතෙක් මානයෙන් ඈතට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූනවත් බලාගන්නට බැරිවෙයිද

*

දුලා දිමුතු මුතු හර පලඳින කලට
වළාකුලක සේලේ ගතලන කලක
සලා සිමර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට

*

ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
මලක් කඩා ගත්තොත් පරවෙනවාය
රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය

*

රජ අණක් වෙතොත් බෑ හැංගිල ඉන්ට
හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
මට ඉඩක් ලැබීයං ආපසු එන්ට

*

*

සෑහෙන්න කාලෙකට කලින් ‘අන්දරේලා’ නාට්‍යය ලයනල් වෙන්ඩ්ට් එකේ බැලුවට පස්සේ මේ සින්දුව එහෙ මෙහෙ හොයල බැලුවේ එක හිතට වැදිච්ච හින්ද.රාජ්‍යය සේවය යනු අද නම් පවතින රජයට සේවය කිරීමයි. මේක කෙසේ කොහොම උපරිම සද් භාවෙන් කලත් ‘ලේබල්’ වදින එක ඒ කාලෙත් නවත්තන්න බැහැ, අදත් බැහැ.

*

මේ නාට්‍යය මුලින්ම නිර්මාණය වෙච්ච අරමුණට වඩා අද රට වෙනස්.ඒ කාලේ රජයට වඩා අද රජය සාපේක්ෂව වෙනස්. ඒ කලේ අන්දරේට හිනාවුනේ වෙන හේතුවකට.අද හිනා වෙන්නේ වෙන වෙන හේතු වලට.

අන්දරේ චරිතයෙන් මතුවන සංකීර්ණ රාජ්‍යය සේවකයන්ගේ පෞරුෂය, ගැටළු සහ ආධ්‍යාත්මය කවුරුවත් වටහාගත්තයි කියල මම හිතන්නේ නැහැ.මොකද? ඒ තරමට “වෙන කෙනෙක්ගේ සපත්තු වලට බැහැල හිතන්න පුළුවන්” පුද්ගලයෝ හරි අඩුයි.හිතන්න පුළුවන් අයට වෙලාවක් නැහැ.

නැත්තන් රාජ්‍යය සේවකයෙක්ම වෙන්න ඕනේ.

කන්නාඩි දාගත්තම පෙනෙන විදිය හරි වෙනස්.කන්නාඩියේ පාටට බරව තම පෙනෙන්නේ.

මුහුකුරා යන්න යන්න පාට පාට කන්නාඩි නැතුව ඇති දේ ඇති සැටියෙන් දකින්න, දීර්ගකාලීන මතකයන් සහිතව ජීවත් වෙන්න පුළුවන් වෙනවා.එහෙම සමහරකට තමන් චන්දය නොදුන් රජයක් මගින් තම රටට අවශ්‍ය සේවය ලබාගැනීමට පුළුවන්.

මේ ගීතය සහ නාට්‍යය ගැන විස්තර මෙතනින් කියවන්න.

*

මේ ලඟදි සංකීර්ණ සත්‍ය ගැබ්වුණු ෆොටෝ 2,3 ක් දැක්කා.

මෝඩයෙක් වගේ තමන්ගේ රටට බනින එක නවත්තල දාපන්.

උඹ උඹේ කොටස හරියට කරපන්.

උඹයි උඹේ රටයි කියන, දෙකම එකයි!

*

ඔබට ඔබේ රජයට ආදරය නොකර,

ඔබේ රටට ආදරය කල හැක.

*

මේවා දැක්කම අපේ තාරුණ්‍යය ‘මෝඩ ජෝක් කොමෙන්ට්’ දානවා,

මිස විනාඩියක් කල්පනා කරන්න තරම් මහන්සි වෙන්නේ නැහැ.

කවදා හරි රටේ බහුතරය ‘ගොසිප් ලංකා එකේ කොමෙන්ට් දාන අය’ වගේ,

වෙච්ච දාට ලංකාවෙන් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

මේ මට ඊයේ පෙරේදා එක්තරා රාජ්‍ය සේවකයෙකුගෙන් රාජ්‍යය සේවය පිළිබඳව ලැබුණු අර්ථකතනයක්.

*

මේ ඉන්න ටිකේ,

තියෙන ආණ්ඩුවකට හේත්තුවෙලා,

කීයක්‌ හරි වැඩිපුර හම්බවෙන විදිහක් බලාගන්නේ නැතුව,

මොන කෙහෙල්මලක් කරන්ඩද බං?

*

*

    

*

රාජ්‍යය සේවය එක්තරා ආකාරයකට පිස්සුවක්.

ඇත්ත කතාව!
එක එකා යුද්දෙට ගිහින් අපි වෙනුවෙන් මැරෙනකොට වචනයක් නොකියපු එවුන්,

දැන් යාපනේ ගිහිල්ල ෆේස්බුක් ෆොටෝස් දානවා.
රටට ආදරේ එකා කොහොමත් ආදරෙයි,නැති එකා නැහැ.
ඔන්න ඕකයි ඇත්ත කතාව.

මේ අතරේ දහසකුත් එකක් ආර්ථික, පෞද්ගලික ප්‍රශ්න අස්සේ,

කැපවීමෙන් තම සේවය නොපිරිහෙලා ඉටුකරන්න,

එක්තරා ආකාරයක පිස්සුවක් තියෙන්නේ ඕනේ තමයි.

රාජ්‍යසේවය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් ඉදිරිපත්කෙරෙන ‘අභිමාන’ වෙළඳ දැන්වීම සඳහා යොදා ඇති නෙලුම් මල දැන හෝ නොදැන රාජ්‍යය සේවය එක රූප රාමුවකින් ගෙනහැර දක්වයි. පොහොසත් රටවල ආධිපත්‍ය, දේශපාලන බලපෑම්, අදුරදර්ශී ආර්ථික පිළවෙත්, වංචාව, දුෂණය සහ නිලධාරීවාදය ඇතුළු මඩ ගොහොරුවේ පිපී, මඩ ගොහොරුවෙන් ඉහලට එසවී තමා උපන් මවුබිමට සහ ජනතාවට සේවයක් ඉටුකරන ඉතා අතලොස්සක් වූ රාජ්‍යය සේවකයින් එමගින් විදහා දක්වා ඇත.

*

පිදුම

උදේ හවස මේ මාරාන්තික සුනාමිවලට මුහුණ දෙමින්,
තමන්ගේ බෙල්ලත් බේරාගෙන,
රටේ අහිංසක මිනිහෙක්ට හෙට දවසක් ඉතිරි කරන්න දඟලන ,
අතලොස්සක්වූ ශ්‍රී ලාංකික රාජ්‍යය සේවකයින්ට!

*

හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න?

*

හීන විල මල් පිපී, මුදාහල සිරියාව

හෙමි හෙමින් ඇවිත්, හිත් මාලිගේ දොර ගාව

හමන විට ඒ සුවඳ ,ආදරේ නුඹ පෑව

වටෙන්න හිතයි, ආයෙමත් නුඹ ගාව

 *

පිනි වැටී  හිනාවෙන , මල දෙවැට අද්දරට

මගේ නෙතු පියාගෙන , හිදින්නන්ම් එනවාද?

තවත් එක වතාවක්,නුඹේ සුවඳ විදගන්න

හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න?

 *

තාරුක නෙතු හරින, නිහඩ රෑ මැදියමක

ඈතටම දිව ගිහින් විත්, හිත මවයි මල හීන

නෙතු හරින එකම එක, ඇසිල්ලක නුඹ පැමිණ

දිග හරී සෙනෙහසින්, මගේ සමනල මතක.

 *

ගීතය මෙතනින් අහන්න.

*

= සටහන =

*

මේ ගීතය අවුරුදු පහ හයකට වඩා පරණයි.

කාලෙකට පස්සේ ඊයේ පෙරේදා මතක් උනේ යාලුවෙක්,

“ඒ මොකක්ද බං අර,
උඹ කාලයක් රිංටෝන් එකට දාගෙන හිටපු,
උඹ විතරක් අහන,
පට්ට බූට් සින්දුව?”

*

කියල අහපු හින්දයි.

අතීතයට අයිති නිදන්ගත ප්‍රේමයේ,

එක්තරා scenario එකක් ,

‘මාරුවට’ සටහන් කරගන්න මේ ගීතය සමත් වෙලා තියෙනවා.

ප්‍රේමයේ එක අවස්ථාවක් එනවා අත්හරිනු ලබන හෝ අත්හැරිය යුතු වන.

මෙය බොහෝවිට දෙපාර්ශවයටම හානිදායක විය හැකියි.

යුද්ධයෙන් පසුව සොල්දාදුවා/සතුරා  පුනරුත්ථාපනය වන්නේ යම්සේද,

ප්‍රේම යුද්ධයෙන් අනතුරුව ප්‍රේමවන්තයාද

ජීවිතයේ ඉදිරියට යාමට පුනරුත්තාපනය විය යුතුවේ.

අතහැරීමට සිදුවූ අතීතයට අයිති සුන්දරත්වයට ලොබ බදින්නා,

යලිත් එක අවසන් වතාවක් එය වින්ද ගැනීමට සිහින දකියි.

*

මේ ගීතය ගයනා කරන්නේ ‘ඉන්සිත්’ සංගීත කණ්ඩායම.

මට කිසිම අදහසක් නැහැ මේ ගීතය කොචර ජනප්‍රියද කියන එක.

මේ ගීතය එක්තරා සීමිත කණ්ඩායමක් අතරේ අතිශය ජනප්‍රියයි,

ඒකත් අමුතු විදියකට.

*